ජීවිතය රස කරන යේසුගේ ආදරය

එවිට ඔව්හු ඔවුන්ගේ විපත්තිවලදී සමිඳාණන් වහන්සේට මොරගැසූ අතර, උන් වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් ගළවාගත් සේක. උන් වහන්සේ ඔවුන් අඳුරෙන් ද මරණයේ සෙවණැල්ලෙන් ද පිටතට ගෙනැවිත්, ඔවුන්ගේ දම්වැල් කැබලිවලට කඩා දැමූ සේක.

ගීතාවලිය 107:13-14

හිතවත් මිතුරනි, මේ ජීවන  චාරිකාවේදී  අපි කොපමණ වාරයක් කඳුළු, තිත්තකම , බිය, හෙළා දැකීම අත්විඳ ඇතිද?. සමහර විට මෙම නරක චිත්තවේගයන් සඳහා හේතුව ඔබ අකමැති   අය මෙන්ම සමහර විට ඔබ බොහෝ සෙයින් ආදරය කරන අය විය හැකිය. මේ ගමනේදී අපට ලැබෙන අමිහිරිම අත්දැකීමක් තමයි අනිත් අය  අපිව දකිනනවිදිහ. එහෙම නැත්නම් අනිත් අයගෙන් මම කියන කෙනාට ලැබෙන විවේචන. ඇතැමුන් අපව විවේචනය කරන්නේ අපගේ ක්‍රියාවන් අනුවය. නමුත් සමහර විවේචනයන් දරා ගැනීමට අපහසු වන අතර ඒවායින් ගැලවී සිටීමට අදාල තත්වය වෙනස් කිරීමටද නොහැකියි.මොකද අපේ පෙනුම නිසා, අපේ පවුල් පසුබිම නිසා, අවුරුදු ගාණක් තිස්සේ අපි හැඩගැසුණු විදිහ නිසා මිනිසුන් අපිව විවේචනය කරනවා. සමහර විට අපේ අසාර්ථකත්වය නිසා වෙන්න පුළුවන්. සමහර අවස්ථා වලදී මිනිසුන් මෙම විනිශ්චයන් කරන්නේ ඔවුන් අපට ඇත්තටම ආදරය කරන නිසා සහ ඔවුන්ට අප තුළ යහපත්  වෙනසක් කිරීමට අවශ්‍ය නිසා. කෙසේ නමුත් මෙම විනිශ්යන් අපිව රිදවනවා.අනිත් අය අපිව සම්පූර්ණයෙන්ම පිලි ගන්නේ නැති බව අපිට අගවනවා.මට මතකයි මම මගේ ළමා වියේදී ඉගෙන ගත් “The Scare Crow” නම් කවිය. එයින් කියවෙන්නේ පඹයෙකු ගැනයි. අපි දන්නවා කුරුල්ලන්ව එලවන්න මිනිසුන් මේ පඹයන් යම් විසුළු රූපයකින් නිර්මාණය කරනවා කියලා. ඉතින් මේ කවියේ පඹයා කියනවා මට මේ කුරුල්ලන්ව බය කරන්න ඕන නෑ, එයාලා ලගට ඇවිත් මගේ  උඩ වහල ලස්සන කුරුළු සද්ද කරනවට මං හරිම කැමතියි. නමුත් ඔවුන් සෑම විටම මාව දැක්කම බය වෙලා ඈතට යනවා කියලා. අපිත් විටක මේ පඹයා වගෙයි.අපිට වෙනස් වෙන්න ඕන. නමුත් තවමත් අපට බැහැ. අපි තීරණ ගන්නවා, උත්සහ කරනවා ඒත් අපට තවමත් නොහැකි වෙලා තියෙනවා.මෙය ඉතා දුෂ්කර අත්දැකීමක්. අවසානයේදී වෙනස් වීමට දරන උත්සාහය කෙලවරවන්නේ අපිට අප ගැන ඇති වන කලකිරීමකින්.මෙය ඔබගේ හෝ අවට සිටින අනෙක් අයගේ වරදක් නොවේ. මෙය පළමු ආදම් ඒදන් උයනේදී කළ දෙයෙහි ප්‍රතිඵලයක්. මේ වැටුණු පොළවෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ  තිත්තකම, ආතතිය, වේදනාව සහ කඳුළු පමණයි.

නමුත් ජේසුස්, දෙවන ආදම් ලෝකයට පැමිණියේ ඔබේ දම්වැල් කැබලිවලට කඩා, ඔබේ දුක්ඛිත තත්වයන් විසඳීමට සහ ඔබව මරණයෙන් මුදා ගැනීමටයි.උන් වහන්සේගේ  කැඳවීම සෑම කෙනෙකුටම වන අතර සීමාවන්, මිනුම් දඩු නැහැ .උන්වහන්සේ  කිසිදු කොන්දේසියකින් තොරව මිනිසුන් සුව කළේය.තවද තම ගෝලයන් තෝරා ගන්නේද කිසිදු  සුදුසුකම් පරීක්ෂාවක්  නොකරමිනි. උන්වහන්සේ අප මෙන් අපව පිළිගනී. එතුමන්ගේ ආදරය කොන්දේසි විරහිතය. එතුමන් සම්මතයේ සියලු මානව බාධක බිඳ දැමීය. ජේසුස් වහන්සේ කෑම කෑවේ සමාජයෙන් කළු ලේබල් කර කොන් කර දැමු අය සමඟයි. ඔවුන් යේසුස්ගේ ආදරය අත්විඳින විට ක්‍රම ක්‍රමයෙන් වෙනස් වුණා. යේසුස් වහන්සේගේ ආදරය මුලින්ම අත්දැකලා  වෙනස් වුණත් ආයෙත් හිටපු ජීවිතයට  ගිය අය ඉන්නවා. නමුත් එතුමන්ට ඔවුන් ගැන විනිශ්චයක්, ලේබල් ගැසීමක්  තිබුණේ නැහැ. නැවත නැඟිටීමෙන් පසු යේසුස් වහන්සේ තම ගෝලයන්ව සොයන ආකාරය අපි ඉගෙන ගනිමු. ඉහළම මිනුම් දණ්ඩ යේසුස් වහන්සේ වන අතර එතුමන්ට   ඔබ පිළිබඳ විනිශ්චයක්, මිනුමක් නැහැ. ඉහළම අධිකාරියට ඔබ ගැන වරද තැබීමක්, විවේචනයක් නැහැ. අපේ ජේසු කොච්චර මිහිරිද? එතුමන්ගේ ආදරය ඉතමත්   මිහිරියි. අපි තේ සැදීමේදී කහට රස අඩු කරන්න සීනි ටිකක් එකතු කරනවා. අපිට කැමති නම් වැඩි සීනි දැමීමෙන් කහට රස නැතිම කර දමන්න පුළුවන්. ඒ වගේ ලෝකයෙන් පැමිණෙන තිත්ත රස යටපත් කර අපේ ජීවිත රස ගන්වන්න ජේසුස් වහන්සේට පුළුවන්.

Leave a Comment