ගඟ හරහා යන්න තියෙන නරකම වෙලාව

ඔයා කවදාහරි නිරීක්ෂණය කරලා තියෙනවාද, සමහර වෙලාවට ඔයා ජීවිතයේ ඊළඟ පියවර තියන්න යද්දීම කිසිසේත් නොසිතූ බාධාවක් පාර මැදට එනවා?

ස්වාමීන්වහන්සේ ඔයාගේ හදවතට දාපු යම් දෙයක් වෙනුවෙන් ඔයා ඇදහිල්ලෙන් ඉදිරියට පියවර තබනවා — සමහරවිට රක්ෂාවේ ලැබුණු අලුත් අවස්ථාවක්, පවුල වෙනුවෙන් ගොඩක් කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටපු වෙනසක්, නැත්නම් අවුරුදු ගණනාවක් තිස්සේ හිතේ තිබුණු ව්‍යාපාරයක් වෙන්න පුළුවන් — ඒත් ඇරෙන දොරවල් වෙනුවට, ඔයාට මුහුණ දෙන්න වෙන්නේ ලොකු ප්‍රතිරෝධයකට/බාධාවකට. ඒක හරියට ගඟෙන් එතෙර වෙන්න යද්දීම වතුර මට්ටම තවත් ඉහළ යනවා වගේ දෙයක්.

අද ඔයා ඉන්නෙත් අන්න ඒ වගේ තැනක නම්, ජෝෂුවා 3 පරිච්ඡේදයේ තියෙන මේ ලස්සන කතාව වෙතට මම ඔයාව අරන් යන්න කැමතියි.

ඉශ්‍රායෙල් සෙනඟ හිටියේ එයාලගේ ජීවිතයේ සිදුවෙන්න යන ලොකුම වෙනස/පෙරළිය අභියසයි. අවුරුදු හතළිහක දීර්ඝ පාළුකර ගමනකට පස්සේ, එයාලා අන්තිමේදී පොරොන්දු දේශයට ඇතුළු වෙන්නයි හිටියේ. ඒත් ඊට කලින්, එයාලට යොර්දාන් ගඟෙන් එතෙර වෙන්න සිද්ධ වුණා.

ස්වාමීන්වහන්සේට තෝරාගන්න තිබුණු හැම වේලාවකටම වඩා, උන්වහන්සේ එයාලව ගඟ ළඟට අරන් ගියේ ගඟ පිටාර ගලන ගංවතුර කාලයේදීයි! ස්වාභාවිකව බලද්දී, ඒක ගඟෙන් එතෙර වෙන්න තිබුණු නරකම වෙලාව! ඒත් ස්වාමීන්වහන්සේ තෝරාගත්තේ අන්න ඒ නරකම වෙලාවයි.

උන්වහන්සේ එහෙම කළේ ඇයි කියලා ඔයා කවදාහරි කල්පනා කරලා තියෙනවාද? අපි ඉදිරියට යන්න ලෑස්ති වෙද්දීම, නරකම වෙලාව වගේ පෙනෙන මොහොතක අපිට බාධාවලට මුහුණ දෙන්න දෙවියන්වහන්සේ ඉඩහරින්නේ ඇයි?

මම විශ්වාස කරනවා, ගොඩක් වෙලාවට අපිට අවශ්‍යම කරන මොහොතේදී හිතාමතාම පුංචි නැවැත්වීමක් (Pause) ඇති කරන්න දෙවියන්වහන්සේ පාවිච්චි කරන්නේ අන්න ඒ වගේ අපිට විරුද්ධයි වගේ පෙනෙන තත්වයන් කියලා!

දේවල් හරිම ලේසියට, ලස්සනට සිද්ධ වෙද්දී, අපේ මනුෂ්‍ය ස්වභාවය හදන්නේ සම්පූර්ණ වේගයෙන් ඉදිරියට දුවන්නයි. අපි සැලසුම් හදනවා, අපේ ඉලක්ක වෙතට තල්ලු වෙනවා, සමහර වෙලාවට ස්වාමීන්වහන්සේගෙන් මඟපෙන්වීම් ඉල්ලන එක පවා අමතක කරලා දානවා.

ඒත් ලොකු වැරදීම් වෙන්න වැඩිම ඉඩක් තියෙන්නේ අන්න ඒ වෙලාවටයි! අපි උන්වහන්සේගේ නියමිත වේලාවෙන් පිටතට යන්න පුළුවන්, නැත්නම් උන්වහන්සේ අපිට අදහස් නොකරපු පාරවල්වල යන්න පුළුවන්… අන්තිමේදී ඒකෙන් අපි ජීවිතය අවුල් කරගෙන, වෙහෙසට පත්වෙලා, “මම මෙතනට ආවේ කොහොමද” කියලා කල්පනා කරන්න පටන් ගන්නවා.


උන්වහන්සේගේ ආදරණීය නැවැත්වීම

ගීතාංජලී, ඔයා ඒ විදිහට ඉන්නවා දකින්න ස්වාමීන්වහන්සේගේ හදවත කැමති නැහැ!

ඔයා මානසික පීඩනයෙන්, දුකෙන්, නැත්නම් හැමදේම තනිවම අල්ලාගෙන ඉන්න ඕනෙ කියන ඒ ලොකු බරෙන් පීඩා විඳිනවා දකින්න උන්වහන්සේ කැමති නැහැ. උන්වහන්සේගේ හදවතේ තියෙන්නේ උන්වහන්සේ විසින්ම ඔයාට මඟපෙන්වනවා දකින්නත්, උන්වහන්සේගේ සමාදානයේ පාරවල්වල ඔයා ගමන් කරනවා දකින්නත් පමණයි! අන්න ඒ නිසයි, උන්වහන්සේගේ ආදරය නිසාම සමහර වෙලාවට අපිට පසුබෑමක් වගේ පෙනෙන දේකට මුහුණ දෙන්න උන්වහන්සේ ඉඩහරින්නේ… එවිට අපි ආයෙත් අපේ ඇස් උන්වහන්සේ දෙසට යොමු කරලා, උන්වහන්සේට අපේ මුළු ජීවිතයටම මඟපෙන්වන්න ඉඩදෙන නිසයි.

යොර්දාන් ගඟ ළඟදී උන්වහන්සේ තමන්ගේ සෙනඟ වෙනුවෙන් කළෙත් අන්න ඒ දේමයි කියලා මම විශ්වාස කරනවා.

සෙනඟ බයෙන් ඉද්දී, ස්වාමීන්වහන්සේ ජෝෂුවාට කිව්වා එයාලට මෙහෙම කියන්න කියලා: “නුඹලා මීට ප්‍රථමයෙන් මේ මාර්ගයේ ගියේ නැත” (ජෝෂුවා 3:4).

වෙනත් වචනවලින් කියනවා නම්, උන්වහන්සේ කිව්වේ මෙන්න මේ දේ: “ඉදිරියට තියෙන්නේ මොකක්ද කියලා නුඹලා දන්නේ නැත. නුඹලා කවදාවත් මේ පාරේ ගිහින් නැත. එබැවින් මාගේ සන්නිධානය එන තෙක් සිටින්න. පූජකයන් ගිවිසුම් පෙට්ටිය උසුලාගෙන ගඟට බැස යද්දී, උන්වහන්සේ පස්සේ යන්න.”

බලා සිටින්න… ඊටපස්සේ උන්වහන්සේ පස්සේ යන්න!

ඒකට ලොකු යටහත්කමක් ඕනෙ. ලොකු විශ්වාසයක් ඕනෙ. ඒත් ඉදිරියට යන්න තියෙන ආරක්ෂිතම සහ ස්ථිරම පාර අන්න ඒකයි!


බාධාව සාක්ෂියක් බවට පත්වෙයි

ඉතින් එයාලා ඒ දේ කළාම සිද්ධ වුණේ මොකක්ද?

පූජකයන්ගේ පය වතුරට තැබූ මොහොතෙම, ස්වාමීන්වහන්සේ ගඟේ වතුර ගැලීම සම්පූර්ණයෙන්ම නතර කරලා, වතුර ආපස්සට ගොඩගැසෙන්න සැලැස්වූවා! එයාලා ඉස්සරහ හරිම පැහැදිලි පාරක් ඇරුණා, සෙනඟ වියළි බිම උඩින් අනිත් පැත්තට ගියා! ලොකු බාධාවක් වගේ පෙනුණු දේ, එකපාරටම ස්වාමීන්වහන්සේගේ විශ්වාසවන්තකමේ ලොකු සාක්ෂියක් බවට පත් වුණා!

සමහරවිට ඔයාත් අද ඉන්නේ අන්න ඒ වගේ තැනක වෙන්න පුළුවන්. ඔයා ඉන්නේ අලුත් දෙයක අභියස වෙන්න පුළුවන්, ඒත් තත්වය එච්චර හොඳයි වගේ පෙනෙන්නේ නැහැ. නැත්නම් ඔයා ලොකු බාධාවකට මුහුණ දීලා ඉන්නවා, ඉදිරියට යන පාර පැහැදිලි නැහැ.

අද ඔයාගේ ජීවිතය කෙරෙහි තියෙන උන්වහන්සේගේ ඒ පොරොන්දුවට සවන් දෙන්න:

“නුඹ ජලය මැදින් යන කල මම නුඹ සමඟ සිටින්නෙමි; ගංගාවන් මැදින් යන කල ඒවා නුඹ මතුපිටින් ගලා නොයන්නේය.”
— යෙසායා 43:2

උන්වහන්සේගේ සන්නිධානයට ඔයාට පෙරටුව යන්න ඉඩදෙන්න. ඔයා පාර දන්නේ නැති වුණත්, උන්වහන්සේ නිවැරදි පාර හොඳටම දන්නවා!

උන්වහන්සේ ඔයාව ඒකෙන් එතෙර කරවනවා විතරක් නෙවෙයි, මේ අභියෝගය ඔයාගේ ජීවිතයට උන්වහන්සේ දක්වන යහපත්කමේ සහ විශ්වාසවන්තකමේ බලවත් සාක්ෂියක් බවට පත් කරයි!


මෙම ලිපිය පූජ්‍ය ජෝසෆ් ප්‍රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.