ඔයාගේ ආශීර්වාද කොල්ලකන්න දෙන්න එපා
“…මම ඉශ්රායෙල් වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන්නෙමි… ඔවුන්ගේ පියවරුන් සමඟ මා කළ ගිවිසුම ලෙස නොව… මාගේ නීති ඔවුන්ගේ මනසෙහි තබා, ඔවුන්ගේ හදවත්වල ඒවා ලියන්නෙමි; මම ඔවුන්ට දෙවියන්වහන්සේ වන්නෙමි, ඔවුහු මට සෙනඟ වන්නෝය… මක්නිසාද මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන දයාවන්නෙමි, ඔවුන්ගේ පව්ද ඔවුන්ගේ අනීතික ක්‍රියාද තවත් සිහි නොකරන්නෙමි.”
— හෙබ්‍රෙව් 8:8–10, 12
සමහර වෙලාවට දෙවියන්වහන්සේ ඔයා ගැන සතුටු වෙනවා කියලත්, තවත් සමහර වෙලාවට උන්වහන්සේ ඔයා එක්ක කේන්තියෙන් ඉන්නවා කියලත් ඔයාට හිතෙනවාද? නැත්නම් අද ඔයාගේ හැම පාපයකටම උන්වහන්සේ සමාව දුන්නත්, හෙට ඒ විදිහටම සමාව දෙන එකක් නැහැ කියලා ඔයා හිතනවාද?
හුඟක් කිතුනුවන් විශ්වාස කරන්නේ අන්න ඒ විදිහටයි. “ඒක හරිම සරලයි,” එයාලා මට කියනවා, “මම හරි දේ කරද්දී දෙවියන්වහන්සේ මාත් එක්ක සතුටු වෙනවා, මම වැරදි දේ කරද්දී උන්වහන්සේ මාත් එක්ක කේන්ති ගන්නවා.” ඇත්තටමද? මම මේකට කියන්නේ “දෙබිඩි කිතුනු ජීවිතයක්” (Schizophrenic Christianity) කියලයි!
මගේ මිත්‍රයා (ඉරේෂා), ඔයාත් ඉන්නේ මේ අසතුටුදායක තැන නම්, ඒකට හේතුව ඔයා ගිවිසුම් දෙකක් — ඒ කියන්නේ නීතියේ පැරණි ගිවිසුම සහ අනුග්රහයේ අලුත් ගිවිසුම — අතරමැද ජීවත් වෙන එකයි කියලා මම විශ්වාස කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට, දෙවියන්වහන්සේ ඔයා ගැන සතුටු වෙන වෙලාවලුත්, උන්වහන්සේ ඔයා එක්ක කේන්ති ගන්න වෙලාවලුත් තියෙනවා කියන මිශ්‍ර පණිවිඩයකට ඔයා රැවටිලා ඉන්නවා.
නීතියේ ගිවිසුම සහ අනුග්රහයේ ගිවිසුම අතර වෙනස
මේ වැරදි විශ්වාසය සම්පූර්ණයෙන්ම පැහැදිලි කරගන්න පුළුවන් දෙයක් මට ඔයාට පෙන්වන්න දෙන්න.
නීතියේ පැරණි ගිවිසුම පදනම් වෙලා තිබුණේ “නුඹ නොකළ යුතුය… නුඹ නොකළ යුතුය… නුඹ නොකළ යුතුය…” කියන නීති මතයි. ඒත් අද දේව වචනයේ තියෙන අනුග්රහයේ අලුත් ගිවිසුම දිහා බලන්න — එතන ස්වාමීන්වහන්සේ කියන්නේ “මම කරන්නෙමි… මම කරන්නෙමි… මම කරන්නෙමි…” (I will…) කියලයි!
නීතියේ ගිවිසුමේ අවධානය සහ ඉල්ලීම තිබුණේ ඔයා කරන දේ මත වුණත්, අනුග්රහයේ ගිවිසුමේ අවධානය තියෙන්නේ දෙවියන්වහන්සේම ඔයා වෙනුවෙන් කරන දේ මත බව හරිම පැහැදිලියි!
උන්වහන්සේ අපි වෙනුවෙන් හැමදේම කරනවා. ඇත්තටම, ජේසුස් වහන්සේ අපි වෙනුවෙන් කුරුසියේ මියගිය නිසා, උන්වහන්සේ ඒ වෙනකොටත් අපි වෙනුවෙන් හැමදේම කර අවසන් කරලයි තියෙන්නේ. මතක තියාගන්න, කිතුනු දහම කියන්නේ “කරන්න, කරන්න, කරන්න” (Do, do, do) කියන එක නෙවෙයි, “කර අවසන්, කර අවසන්, කර අවසන්” (Done, done, done) කියන එකයි!
ජේසුස් වහන්සේ ආවේ අනුග්රහයේ අලුත් ගිවිසුම පිහිටුවන්නයි. මේ අලුත් ගිවිසුම යටතේ, දෙවියන්වහන්සේ තවදුරටත් ඔයා එක්ක කේන්තියෙන් නැහැ! මොකද උන්වහන්සේගේ මුළු උදහසම සහ කෝපයම කුරුසියේදී ජේසුස් වහන්සේගේ ශරීරය මත සම්පූර්ණයෙන්ම වැගිරිලා, අවසන් වෙලා ගියා.
මේ සත්‍යයට හොඳින් අවධානය යොමු කරන්න, මොකද මේක ඔයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි: ජේසුස් වහන්සේට කුරුසිය මත ඉඳගෙන “සියල්ල නිමවිය!” (It is finished!) (යොහන් 19:30) කියලා හයියෙන් ප්‍රකාශ කරන්න පුළුවන් වුණු එකම හේතුව තමයි, පාපයට විරුද්ධව තිබුණු දෙවියන්වහන්සේගේ සම්පූර්ණ උදහස උන්වහන්සේගේ ශරීරය මත සම්පූර්ණයෙන්ම අවසන් වුණු එක!
ජේසුස් වහන්සේට කවදාවත් බොරු කියන්න බැහැ! ඉතින් ඔයාගේ සියලු පාපවලට විරුද්ධව තිබුණු දෙවියන්වහන්සේගේ කෝපය ඒ වෙනකොටත් සම්පූර්ණයෙන්ම අවසන් වෙලා නම්, අද ඔයාට යම් වැරැද්දක් වුණාම දෙවියන්වහන්සේට කොහොමද ඔයා එක්ක කේන්ති ගන්න පුළුවන් වෙන්නේ? “ඔවුන්ගේ පව්ද ඔවුන්ගේ අනීතික ක්‍රියාද මම තවත් සිහි නොකරන්නෙමි” කියලා උන්වහන්සේ ඒ වෙනකොටත් ප්‍රකාශ කරලා තියෙද්දී, උන්වහන්සේ කොහොමද ඔයා එක්ක තරහා වෙන්නේ?
ඔයාගේ පියාණන්වහන්සේ වෙතට දුවන්න
හුඟක් කිතුනුවන්ට දෙවියන්වහන්සේ එක්ක තියෙන සමීප සම්බන්ධය සහ සහභාගිකම අහිමි වෙලා (කොල්ලකෑමට ලක්වෙලා) තියෙන්නේ, තමන්ගේ පව් නිසා දෙවියන්වහන්සේ තවමත් තමන් එක්ක කේන්තියෙන් ඉන්නවා කියන බොරුව එයාලා විශ්වාස කරන නිසයි.
තමන්ට වැරැද්දක් වෙන හැමවෙලාවකම දෙවියන්වහන්සේ තමන් එක්ක කේන්ති ගන්නවා කියලා හිතලා, එයාලා උන්වහන්සේව මඟහරිනවා. ඉතින් වැරැද්දක් වුණාම දෙවියන්වහන්සේ ළඟට දුවනවා වෙනුවට, එයාලා දුවන්නේ විරුද්ධ පැත්තටයි. විසඳුම ළඟට දුවනවා වෙනුවට, එයාලා විසඳුමෙන් ඈතට දුවනවා!
ඔයාගේ කරුණාවන්ත ස්වර්ගීය පියාණන්වහන්සේ එක්ක තියෙන සැබෑ සමීප සම්බන්ධය තවදුරටත් ඔයාගෙන් කොල්ලකන්න ඉඩදෙන්න එපා!
ඔයාට වැරැද්දක් වුණාම උන්වහන්සේව මඟහරිනවා වෙනුවට, ඔයාගේ හැම ප්‍රශ්නයකටම උත්තරය තියෙන්නේ උන්වහන්සේ ළඟ බව දැනගන්න. අන්න ඒ නිසයි ඔයාට හැමවෙලේම උන්වහන්සේ ළඟට දුවලා ඇවිත්, ඔයාගේ දුර්වලකම් සහ වැරදීම් වෙනුවෙන් අනුග්‍රහය ලබාගන්න පුළුවන් වෙන්නේ!
උන්වහන්සේගේ අනුග්‍රහය ඔයාගේ සියලු වැරදීම්වලට වඩා ගොඩක් විශාලයි. උන්වහන්සේ ඔයාට පරිපූර්ණ ලෙස ආදරෙයි, ඒ වගේම ඔයා ජීවිතයේ රජකම් කරනවා (Reign in life) දකින්න උන්වහන්සේට ඕනෙ! ඉතින් ඔයාගේ හැම අඩුපාඩුවක්ම අරගෙන උන්වහන්සේ ළඟට යන්න.
උන්වහන්සේ ඔයාගේ දෙවියන්වහන්සේයි — උන්වහන්සේ ඔයාට ආදරය කරමින්, ඔයාව පූර්ණත්වයට පත්කරයි!
මෙම ලිපිය පූජ්‍ය ජෝසෆ් ප්‍රින්ස් (Pastor Joseph Prince) තුමාගේ “Reign in Life—90 Powerful Inspirations for Extraordinary Breakthroughs” කෘතිය ඇසුරෙන් සකස් කරන ලද්දකි.


