*ඔයාගේ හිස් වුණු බෝට්ටුවෙන් කරන්න පුළුවන් හොඳම දේ*

*ඔයාට කවදා හරි හිතිලා තියෙනවද, ඔයා කරන්න පුළුවන් හැම දේම කළත් අන්තිමේදී අතේ කිසිම දෙයක් නැහැ කියලා?

ඔන්න ඔය වගේ රෑකට තමයි එක්තරා ධීවරයෙක් මුහුණ දුන්නේ. අපි පස්සේ කාලෙක පේතෘස් ප්‍රේරිතතුමා කියලා අඳුනගන්න සීමොන්, එදා මුළු රෑම විලට ගිහින් මහන්සි වෙලා, අන්තිමේදී හිස් අතින් තමයි ආවේ.

මුළු රෑම ඔරු පැද්දා, දැල් දැම්මා, බලාගෙන හිටියා… ඒත් අල්ලගන්න එක මාලුවෙක්වත් හිටියේ නැහැ.උදේ වෙද්දී සීමොන් ඇතුළු අනිත් ධීවරයෝ ඔක්කොම හිටියේ හොඳටම මහන්සි වෙලා. එයා වෙරළට වෙලා දැල් හෝද හෝද, හිස් වුණු බෝට්ටු සුද්ධ කරමින් හිටියේ. හිතට ලොකු මහන්සියක්, කලකිරීමක් වගේම අසරණකමකුත් දැනෙන්න ඇති.

අන්න ඒ වෙලාවේ තමයි අපේ ජේසු එතැනට ඇවිත් සෙනඟ උන්වහන්සේ වටා රොක් වෙද්දී, උන්වහන්සේ කෙලින්ම සීමොන් ළඟට ඇවිත්, සෙනඟට උගන්වන්න සීමොන්ගේ බෝට්ටුව ඉල්ලනවා.ඒ වෙලාවේ සීමොන්ගේ හිතට මොනවා හිතෙන්න ඇද්ද කියලා අපි හරියටම දන්නේ නැහැ. සමහරවිට, “අනේ මුළු රෑම මහන්සි වුණා, දැන් මොකක්ද මේ?” කියලා හිතුණද? නැත්නම්, “මට නම් දැන් මේවට වෙලාවක් නැහැ” කියලා හිතුණද? එහෙමත් නැත්නම්, “කමක් නැහැ, ඊයේ රෑ මේ බෝට්ටුවෙන් මට වැඩක් වුණෙත් නැහැනේ, ගුරුතුමනි ගන්න” කියලා හිතුණද?

මොනවා හිතුණත්, සීමොන් එයාගේ බෝට්ටුව ජේසුට දුන්නා. ඒක හරිම පුංචි, සරල තීරණයක්. එයා ජේසුට බෝට්ටුවට ගොඩවෙන්න ඉඩ දුන්නා. අන්න එතැනින් තමයි හැමදේම වෙනස් වුණේ.ජේසුස් ස්වාමීන් වහන්සේ කතා කරලා ඉවර වුණාට පස්සේ සීමොන්ට කියනවා, **“ගැඹුරු තැනට බෝට්ටුව පදවාගෙන ගිහින්, මාලු අල්ලන්න දැල් දාන්න”** කියලා (*ලූක් 5:4*).

ඊටපස්සේ වුණු දේ ඔයා දන්නවනේ… ඒ එකම විල, ඒ එකම ධීවරයා, ඒ එකම බෝට්ටුව! හැබැයි මෙදා පාර බෝට්ටුවේ ජේසු හිටියා. කලින් හිස් වෙලා තිබුණු ඒ බෝට්ටුව, පස්සේ මාලු පිරෙන තැනක් වුණා. දැල් කැඩෙන තරමට, බෝට්ටු ගිලෙන තරමට මාලු අහුවුණා! අන්තිමේදී අනිත් අයටත් කතා කරන්න වුණා ඒ මාලු ටික ගොඩගන්න.

පොඩ්ඩක් හිතලා බලන්න, ඒ බෝට්ටුව කියන්නේ සීමොන්ගේ ජීවනෝපාය, එයාගේ රක්ෂාව, එයාගේ කාලය, එයාගේ මුළු මහන්සිය. ඒක තමයි එයාගේ මුළු ජීවිතයම.සමහරවිට අද ඔයත් ඉන්නේ එදා සීමොන් හිටපු තැනම වෙන්න පුළුවන්.

ඔයා ගොඩක් මහන්සි වෙලා ඇති. කරන්න පුළුවන් හැම ක්‍රමයක්ම, හැම උපදෙසක්ම අරන් බලන්න ඇති. කාලය, ශ්‍රමය, සල්ලි හැමදේම යෙදෙව්වත් තාම ප්‍රතිඵලයක් නැතුව ඇති.මම ඔයාට පුංචි දෙයක් කියන්නද? ඔයාගේ බෝට්ටුව, එහෙමත් නැත්නම් ඔයාගේ උත්සාහය, රක්ෂාව, කාලය, ඔයාගේ මුළු ජීවිතයම ගැන කරන්න පුළුවන් නුවණැතිම දේ තමයි, ඒක ජේසුට භාර දෙන එක.සමහර වෙලාවට අපි ප්‍රශ්න අස්සේ අතරමං වෙලා, තවත් උත්සාහ කර කර, තවත් මහන්සි වෙනවා මිසක්, ජේසු හෙමින් ඇවිත් **“මටත් මේකට ඇතුළු වෙන්න ඉඩ දෙනවද?”** කියලා අහන හඬ අපිට ඇහෙන්නේ නැහැ.

සීමොන් කළා වගේ, ඔයාගේ ජීවිතේ සාර්ථක නැහැ කියලා හිතෙන ඒ තැනට ජේසුට එන්න ඉඩ දෙන්න. උන්වහන්සේට ඒක පාවිච්චි කරන්න දෙන්න. කිසිම ප්‍රතිඵලයක් නැති දේවල් පස්සේ දුවන වෙලාවේ, පොඩි වෙලාවක් වෙන් කරලා දෙවියන් වහන්සේගේ රාජ්‍යය වෙනුවෙන් යොදවන්න. ඔයාගේ ගෙදර පුංචි යාච්ඤා කණ්ඩායමකට ඇරඹුමක් දෙන්න, සභාවේ සේවය කරන්න කාලය දෙන්න, ඔයාගේ තියෙන දක්ෂතාවලින් තව කෙනෙකුට ආශීර්වාදයක් වෙන්න.

ඔයාගේ බෝට්ටුව මොකක් වුණත්—ඒක ඔයාගේ දක්ෂතාවයක්, හැකියාවක්, නැත්නම් ශක්තියක් වෙන්න පුළුවන්—ඒක ජේසුගේ අතට දුන්නාම ඒක කලින් තිබුණු විදිහටම තියෙන්නේ නැහැ. ඒක ආශීර්වාදයෙන්, පූර්ණත්වයෙන්, අලුත් වෙනසකින් ඔයාට ආපහු ලැබෙනවා. මතක තියාගන්න, දෙවියන් වහන්සේ කාටවත් ණයගැති වෙන්නේ නැහැ.

ඔයා වපුරන හැම බීජයක්ම උන්වහන්සේ අනිවාර්යයෙන්ම ගුණ කරලා ආශීර්වාද කරනවා!මේ කතාවේ මම වඩාත්ම ආස කරන දේ තමයි මේක. සීමොන් ඒ පුදුම දේ දැක්කම “අනේ ෂෝක් මාලු ටික!” කියලා නෙවෙයි කිව්වේ. එයා ජේසුස් ස්වාමීන් වහන්සේ දිහා බලලා, උන්වහන්සේ කවුද කියලා තේරුම් අරන් උන්වහන්සේගේ පාමුල වැටුණා. එදා ඉඳන් එයා ජේසු පස්සේ ගියා.

එයාට හම්බවුණු මාලු ටිකත් අතහැරලා ගියේ, ඊට වඩා වටින සැබෑ සම්පත වෙන ජේසුස් ස්වාමීන් වහන්සේව එයාට මුණගැහුණු නිසයි.සමහරු කියනවා සීමොන් ජේසු පස්සේ යන්න මාලු පිරුණු බෝට්ටුවක් අතහැරියා කියලා. හැබැයි ඇත්තටම, ඒ මාලු ටික එයාගේ නෙවෙයිනේ. ජේසු නැතුව එයාට කවදාවත් ඒ මාලු අල්ලගන්න හම්බෙන්නේ නැහැ.

එයා ඇත්තටම අතහැරියේ හිස් වුණු බෝට්ටුවකුයි, හිස් වුණු දැලකුයි විතරයි.ඉතින් එයාට ලැබුණේ මොනවාද? ජේසුස් ස්වාමීන් වහන්සේගේ පැවැත්ම, උන්වහන්සේගේ සමීපබව සහ ජීවත් වෙන්න දිව්‍යමය කැඳවීමක් හා අරමුණක්.

ජේසු එයාට කිව්වා, **“මෙතැන් පටන් නුඹ මිනිසුන් අල්ලන්නෙක් වන්නෙහිය”** කියලා.ජේසු ඔයාට දෙන්න හදන්නෙත් අන්න ඒ දේමයි. සාර්ථකත්වයට, පිරුණු දැල්වලටත් වඩා උන්වහන්සේට ඕන කරන්නේ උන්වහන්සේවම ඔයාට දෙන්න.

ඉතින් ඔයාගේ “බෝට්ටුවෙන්” කරන්න පුළුවන් හොඳම දේ තමයි… ඒක ජේසුට භාර දෙන එක!