මට අද ඔයාට පුංචි දෙයක් කියන්න පුළුවන්ද?
පොඩ්ඩක් හිතන්න, අපේ හතුරාගේ ප්ලෑන් එක, එයාගේ ක්රම සහ උපක්රම ඔක්කොම ඔයාට පැහැදිලිවම බලාගන්න ලැබුණා කියලා.
ඔයාට එතන මොනවා බලාගන්න ලැබෙයි කියලද හිතන්නේ?
ගොඩක් වෙලාවට අපිට මුලින්ම හිතෙන්නේ ලොකු පරීක්ෂා, සුප්රසිද්ධ වැරදි, නැත්නම් පිටතින් පේන පව් ගැන වෙන්න ඇති. ඒත් ඔයාව පුදුම කරවන දෙයක් මට පෙන්නන්න පුළුවන්ද?
හෙබ්රෙව් භාෂාවෙන් යක්ෂයාගේ නම “Ha-Satan” (හා-සාතාන්). ඒකේ තේරුම “චෝදනා කරන්නා” නැත්නම් නීතිමය වශයෙන් (නීතිය කියන්නේ ලෝකය ඔයාව දකින්න කැමති විදිය) “පැමිණිලිකාරයා” කියන එකයි. ඒක පුංචි දෙයක් නෙවෙයි.
එයා ප්රධාන වශයෙන්ම කරන්නේ කෙලින්ම පහරදෙන එක නෙවෙයි. එයා එන්නේ පැමිණිලිකාරයෙක්, චෝදනා කරන්නෙක් විදිහට. එයා බලන්නේම ඔයාට විරුද්ධව නඩුවක් ගොඩනඟන්න කරුණු හොයන්න (1 පේතෘස් 5:8). ලෝකය ඔයාව දකින්න කැමති විදිය අනුව, ඔයාගේ හැම අඩුවක්ම, හැම වැරැද්දක්ම එළියට අරන් ඔයාව වරදකරු කරන්න ආයුධයක් කරගන්න එයා උත්සාහ කරනවා.
එයාගේ අරමුණ මොකක්ද? ඔයාට ස්වර්ගීය පියාණන්ගෙන් ඈත් වෙලා, ඔයා කිසි දේකට සුදුසු නැහැ කියලා හිතෙන තැනට ඔයාව පත්කරන එක.
ඒක ඇත්ත නිසා නෙවෙයි. ඒත් ඔයා ඒ බොරුව විශ්වාස කළොත්, ඔයාට හිමිවෙලා තියෙන නිදහස ඇතුළේ ජීවත් වෙන්න ඔයාට බැරි වෙන හින්දා.
පාවුල් අපොස්තුළුතුමා 2 කොරින්ති 2:11 හි සඳහන් කරන්නේ හතුරාගේ උපක්රම ගැන අපි නොදැනුවත්ව සිටිය යුතු නැති බවයි. ඒක එහෙම කියන්න ලොකු හේතුවක් තියෙනවා.
හතුරා වැඩ කරන්නේ කොහොමද කියලා ඔයා දැනගත්තාම… එයාගේ සැලසුම් ඔයාට අහුවුණාම… එයාගේ බොරුවල තියෙන බලය නැතිවෙනවා. හතුරාගේ උපක්රම අඳුනගන්න කෙනෙක්ට විරුද්ධව එයාට දිනන්න බැහැ.
මේක තේරුම් ගත්තාම, ඔයාට එයාගේ උපක්රම හැමතැනදීම අඳුනගන්න පුළුවන් වෙයි:
” පරාජය වුණු තැන් මතක් කරලා දෙන්න… වරදකාරී හැඟීමෙන් සහ ලැජ්ජාවෙන් තියන එක “
“තමන් ගැනම විතරක් හිතන්න සලස්වන්න. තමන් කරන දේවල් මදිද කියලා දිගටම හිතන්න සලස්වන එක .”
“මේ චෝදනා එන්නේ තමන්ගේම හිතෙන් වගේ දැනෙන්න සලස්වන්න. එතකොට ඒක එන්නේ කොහෙන්ද කියලා එයාලා සැක කරන්නේ නැහැ.”
අන්තිම එක හරිම සූක්ෂමයි. “මං හරි යන්නේ නැහැ” නැත්නම් “බලන්න මං කරපු දේ” කියලා හිතට හිතුවිල්ලක් එද්දී, ඒක දැනෙන්නේ තමන්ගේම හඬ වගෙයි. ඒත් ඔයාගේ හිතට එන හැම හිතුවිල්ලක්ම ඔයාගෙන් එන ඒවා නෙවෙයි.
දැන් මට ඕන ඔයා මේ දේ තේරුම් ගන්න.
හතුරා ඔයාට විරුද්ධව ගේන හැම චෝදනාවකටම කුරුසිය උඩදී ස්ථිර විසඳුමක් ලැබිලා ඉවරයි.
අපේ ජේසුස් ස්වාමීන් වහන්සේ කල්වාරියට ගිය වෙලාවේ, උන්වහන්සේ නීතියේ සියලුම ඉල්ලීම් එක පාරටම ඉෂ්ට කළා. හැම චෝදනාවක්ම, හැම වරදක්ම උන්වහන්සේ දැරුවා. ඔයාගේ හැම පවකටම හිමි සම්පූර්ණ දඬුවම, ශාපය සහ තීන්දුව උන්වහන්සේ පිටට වැටුණා.
උන්වහන්සේ ඒ සියල්ල ගෙවා දැමුවා.
අද යක්ෂයා කියන්නේ ආයුධ අහිමි වුණු, පරාජිත සතුරෙක්. එයා ඔයාට ගහන ඒ චෝදනාවලට කිසිම පදනමක් නැහැ.
හතුරා ඔයාගේ දොරට තට්ටු කරද්දී ඔයාට කරන්න පුළුවන් බලවත්ම දේ තමයි, එයාව ගණන් නොගෙන ඉන්න එක.
ඔව්, ඒක ඇත්ත. එයාට දෙන හොඳම උත්තරය තමයි එයා එක්ක කතාවට නොයන එක.
මම මේ කියන දේ පැහැදිලි කරන්නම්.
පාරේ යන ගෑනු ළමයින්ට විසිල් ගහමින් කෑගහපු කොල්ලෝ ටිකක් මම දවසක් දැක්කා. සමහර ගෑනු ළමයි නැවතීලා, හැරිලා එයාලට හොඳටම බැන්නා. දන්නවද, ඒ කොල්ලෝ ඒකට හරි ආස වුණා. මොකද එයාලට ඕන වුණෙත් ඒ ප්රතිචාරයමයි. ඒත් තවත් අය ගණන් ගන්නේවත් නැතුව, තමන්ගේ ගමන යන්න ගියා. අර කොල්ලෝ එතන හිටියේ නැහැ වගේ. ඒ නිහඬතාවය තමයි ලොකුම උත්තරය වුණේ.
අපි හතුරාට ප්රතිරෝධය දක්වන්න ඕනෙත් අන්න ඒ විදිහටමයි.
ඉතින් එදිනෙදා ජීවිතයේදී මේක වෙන්නේ කොහොමද?
සමහරවිට අද උදේ ඔයාගේ ළමයි එක්ක ඔයාට කේන්ති යන්න ඇති. පැය ගාණකට පස්සෙත් ඒ චෝදනාව හිත ඇතුළෙන් ඇහෙනවා: “ඔයා මොන වගේ අම්මෙක්ද? ඔයා දිගටම වැරදි කරන්නේ.”
ඒ හඬ එක්ක තර්ක කරන්න යන්න එපා. තමන්ගේ අඩුපාඩු ගැන හිත හිත ලතැවෙන්න එපා. සරලව මෙහෙම කියන්න: “ඒ චෝදනාව කුරුසිය උඩදී ඉවර වුණා. මට සමාව ලැබිලා තියෙන්නේ, මට දෙවියන් වහන්සේ ආදරෙයි.” කියලා ඉස්සරහට යන්න.
නැත්නම් වැඩපොළේදී ඔයා අතින් වැරැද්දක් වුණා වෙන්න පුළුවන්. වැරදි දෙයක් කියැවුණා නැත්නම් වැදගත් දෙයක් මඟහැරුණා. එකපාරටම චෝදනාව එනවා… “ඔයා මේකට හරියන්නේ නැහැ. හැමෝම ඒක දන්නවා.”
වැරදි ගැනම හිත හිත ලතැවෙන්නවත්, තමන්ව සාධාරණීකරණය කරන්නවත් යන්න එපා. ආයෙත් පියාණන් වහන්සේ දිහා බලලා, උන්වහන්සේ ඔයා ගැන කියන්නේ මොකක්ද කියලා හිතන්න: “මම ක්රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමයි. ඒ නඩුව දැනටමත් අස් කරගෙන ඉවරයි.”
නැත්නම් ඊටත් වඩා සූක්ෂම විදිහට හිත ඇතුළෙන් මෙහෙම ඇහෙන්න පුළුවන්: “මම ගොඩක් පස්සෙන් ඉන්නේ… මම කරන්නේ මදි… මම ආයෙත් පරාදයි…”
ඒ වැඩ කරන්නේ අර පැමිණිලිකාරයා තමයි. ඒකට උත්තරයත් ඒකමයි.
ස්වර්ගීය පියාණන් වහන්සේ ඔයා ගැන කියන දේ මත විතරක් ස්ථිරව ඉන්න. ජේසුස් ස්වාමීන් වහන්සේ සහ උන්වහන්සේ කුරුසිය මත කරලා ඉවර කරපු කාර්යය දෙසම බලන්න. ඒකෙන් ඔයාට විරුද්ධව ආපු, එන්න තියෙන හැම චෝදනාවක්ම විසඳලා ඉවරයි.
මේක හරිම සරල, නැත්නම් නිකන් ඉන්නවා වගේ දෙයක් කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඔයා මෙහෙම කරද්දී කියන්නේ හරිම බලවත් දෙයක්: “තමුන්ට මෙතන ඉඩක් නැහැ. තමුන්ට මා පිට කිසිම බලයක් නැහැ. තමුන් මගේ අවධානයට වටින කෙනෙක් නෙවෙයි.”
අපි ස්ථිරව නැගී සිටින්නේ සහ ක්රිස්තුස් වහන්සේ තුළ අපිට ලැබිලා තියෙන ජයග්රහණය ඇතුළේ ගමන් කරන්නේ අන්න ඒ විදිහටයි.



