ඔයාට කවදාහරි තේරිලා තියෙනවද අපි ඇසුරු කරන අයගේ බලපෑම අපේ ආත්මයට දැනෙන විදිහ?
කේලම් කියන, නරක කතා කියන අය එක්ක කාලය ගත කරද්දී, නොදැනුවත්වම අපේ හදවතත් අනුන්ට දොස් කියන්න, විවේචනය කරන්න පුරුදු වෙනවා. බය, තිත්තකම, කලකිරීම පිරුණු අය එක්ක ඉද්දී, ටික වෙලාවකින් ඒ බර අපේ හදවතටත් දැනෙන්න ගන්නවා. අපිත් නොදැනුවත්වම බයෙන්, සැකයෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා.
බයිබලයේ අපිට කියන්නේ අන්න ඒ නිසයි, අපේ ඇසුර සහ අපේ සමීපතමයන් ගැන ගොඩක් පරිස්සම් වෙන්න කියලා. මොකද අපි ළඟට ගන්න අය, අපි අහන දේවල් අපේ සිතුවිලි, අපේ කතාව සහ අපේ විශ්වාසය වෙනස් කරන්න බලවත්!
අපේ ජීවිතේට කිසිම ඵලයක් නැති, දෙවියන්වහන්සේ අපේ ජීවිතයේ කරන්න හදන දේට බාධා කරන සමහර සම්බන්ධකම් තියෙනවා.
“මද්රාසි කකුළුවෝ” වගේ යහළුවන්
මම ඒ වගේ අයව හඳුන්වන්නේ “මද්රාසි කකුළුවෝ” වගේ අය කියලා.
ඔයා දන්නවද ඒ වගේ කකුළුවෝ ගොඩක් එක එක කූඩයකට දැම්මම මොකද වෙන්නේ කියලා? එකෙක් උඩට නැගලා එළියට යන්න හදද්දී, අනිත් උන් ඌව ආයෙත් පල්ලෙහාට ඇදලා දානවා. ඒ කූඩෙට පියනක්වත් ඕනෙ නෑ! උන් කියන්නේ “මම මෙතන හිරවෙලා ඉන්නවා නම්, තොටත් යන්න දෙන්නේ නෑ” වගේ කතාවක්.
සමහරවිට ඔයාගේ ජීවිතෙත් ඔයාට ඒ වගේ අත්දැකීම් ඇති.
ඔයා දෙවියන්වහන්සේ එක්ක ඉස්සරහට යන්න හදද්දී… අලුත් පියවරක් තියන්න හදද්දී… විශ්වාසයෙන් නැගිටින්න හදද්දී… ඔයාගේ සමීපතමයෙක්ම ඔයාව පස්සට ඇදලා දානවා. ඔයාගේ තීරණ ප්රශ්න කරනවා, සැකයන් වපුරනවා, නැත්නම් ඔයාගේ පරණ වැරදි මතක් කරනවා.
ඒත් ඔයාගේ යාළුවෙක් විදිහට මට ඔයාට එක දෙයක් කියන්න දෙන්න:
ඒක දෙවියන්වහන්සේ ඔයා ගැන දකින අදහස නෙවෙයි.
ඔයාව ඉහළට ඔසවන ඇසුරක්
උන්වහන්සේට ඕනෙ ඔයාව සීමා කරන අය නෙවෙයි, ඔයාව ඉහළට ඔසවා තබන අයගෙන් ඔයාව වටවෙනවා දකින්නයි. ඔයාගේ අනාගතයට කතා කරන, ඔයාව පරණ වැරදිවලට හිර නොකරන අයව ඔයාට දෙන්නයි.
මම මේ කියන්නේ ඔයාට එක එක බොරු කියමින් ඔයාව සතුටු කරන අය ගැන නෙවෙයි. ඔයාට ඇත්තටම ඕනෙ වෙලාවට දෙවියන්වහන්සේගේ වචනයෙන් උපදෙස් දෙන, ආදරයෙන් ඔයාව හරි පාරට ගන්න දෙවියන්වහන්සේට ගරු කරන අය ගැනයි.
“ඥානවන්තයන් සමඟ ගමන් කරන්නා ඥානවන්ත වන්නේය, නමුත් අඥානයන්ගේ සහකාරයා විනාශ වන්නේය.”
— හිතෝපදේශ 13:20
ඒක නිකම්ම අවවාදයක් විතරක් නෙවෙයි, ඒක පොරොන්දුවක්! හරි අය එක්ක ගමන් කරද්දී විතරක් ලැබෙන යම්කිසි ඥානයක්, ශක්තියක් සහ ධෛර්යයක් තියෙනවා. නරක ඇසුර ඔයාව පල්ලෙහාට ඇදලා දානවා වගේම, හරි ආත්මික ඇසුර ඔයාව උඩට ඔසවනවා.
ඇසුරෙන් ලැබෙන අභිෂේකය
අද මට ඕනෙ ඔයා ලස්සන ආත්මික සත්යයක් තේරුම් ගන්නවා දකින්න. ඒකට කියන්නේ “ඇසුරෙන් ලැබෙන අභිෂේකය” (Anointing by Association) කියලා.
බලන්න 1 සාමුවෙල් 22 පරිච්ඡේදයේ මොකද වෙන්නේ කියලා. දාවිත් අදුල්ලාම් ගුහාවේ හැංගිලා ඉද්දී එයා ළඟට පිරිසක් ආවා. ඒ ආවේ මහා බලවත් යෝධයෝ නෙවෙයි. ඒ ආවේ විපතට පත්වෙච්ච, ණයවෙච්ච, කලකිරිච්ච මිනිස්සු පිරිසක් (3D Army).
ඒත් ඒ අයගේ ප්රශ්න ගොඩ මැද වුණත්, එදා ඒ අය එක හරි දෙයක් කළා. ඒ අය හරි පුද්ගලයා සමඟ එකතු වුණා.
ඒ අය දාවිත් එක්ක හිටියා, එයා එක්ක සටන් කළා, එයාට සේවය කළා. කාලය යද්දී ඒ අය ඇතුළේ ලොකු වෙනසක් වුණා. දාවිත් කෙරෙහි තිබුණු ඒ අභිෂේකයම ඒ අය පිටටත් ආවා! දිනෙක බිඳී ගිය, කලකිරී සිටි ඒ මිනිස්සු දාවිත්ගේ බලවත් යෝධයන් බවට පත්වුණා. ඉශ්රායෙලයේ මහා වීරයන් වුණා.
2 සාමුවෙල් 21 වෙනි පරිච්ඡේදයේ කියන්නේ, ගොලියාත්ගේ පවුලේ අනිත් යෝධයන්ව පරදාගත්තේ දාවිත් නෙවෙයි, අන්න ඒ වීරයන් බවයි! හිතලා බලන්න, දාවිත්ට යෝධයන්ව පරද්දන්න තිබුණු ඒ අභිෂේකයම අර මිනිස්සු හරහාත් ගලාගෙන ගියා.
නියම බලය තියෙන්නේ කොතැනද?
ඒත් මට ඕනෙ ඔයා මෙතැන තියෙන නියම සත්යය දකිනවාටයි.
ඒක නිකම්ම දාවිත් නිසා වුණු දෙයක් නෙවෙයි. දාවිත් සම්පූර්ණ කෙනෙක් නෙවෙයි. ඒත් දාවිත් දෙවියන්වහන්සේට හුඟක් ළංව ජීවත් වුණු කෙනෙක්. එයා දෙවියන්වහන්සේට නමස්කාර කළා, විශ්වාස කළා, හැමදේකදීම උන්වහන්සේගෙන් ඇහුවා. එයා දෙවියන්වහන්සේගේ හදවතට එකඟ කෙනෙක් වුණා.
ඉතින් අර මිනිස්සු දාවිත් එක්ක එකතු වුණු වෙලාවේ, දාවිත්ගේ තිබුණු ඒ නියම ආත්මික සම්බන්ධතාවය ඒ අයටත් ලැබුණා. දාවිත් දෙවියන්වහන්සේව දැක්ක විදිහටම ඒ අයත් උන්වහන්සේව දකින්න පටන් ගත්තා.
හරි අය එක්ක ගමන් කිරීමේ බලය අන්න ඒකයි!
ඔයාට හැමදේම තනියම විසඳගන්න ඕනෙ නෑ. දෙවියන්වහන්සේ එක්ක ගමන් කරන අය එක්ක ගමන් කරන්න පුරුදු වෙන්න. ඒ අයගේ විශ්වාසයෙන් ඔයාගේ විශ්වාසය වැඩි කරගන්න. ඒ අයගේ ආදරණීය, ධෛර්යමත් කරන වචනවලින් ඔයාගේ ආත්මය අලුත් කරගන්න.
අදම එක පියවරක් තියන්න
ඉතින් මේ සතියේ දෙවියන්වහන්සේගෙන් මෙහෙම අහන්න:
“ස්වාමීනි, මේ කාල පරිච්ඡේදයේ මම එකතු වෙලා ගමන් කරන්න ඕනෙ කවුරු එක්කද? මගේ හදවත ආරක්ෂා කරගන්න ඕනෙ කොයි වගේ කටහඬවල්වලින්ද?”
ඊට පස්සේ එක පියවරක් තියන්න. ඔයාට උපදෙස් දෙන නායකයෙක්, විශ්වාසයෙන් පිරුණු යහළුවෙක් එක්ක ආයෙත් කතා කරන්න. නැත්නම් ඔයාට ජීවනයේ වචන කතා කරන, දෙවියන්වහන්සේගේ යහපත්කම මතක් කරන අය එක්ක වැඩිපුර කාලය ගත කරන්න.
මොකද, ඔයා ගමන් කරන්නේ කවුරු එක්කද කියන එක ඔයාගේ අනාගතය තීරණය කරනවා. ඔයා හරි අයව තෝරාගනිද්දී, ඒ අභිෂේකයම ඔයාගේ ජීවිතයටත් ගලාගෙන එයි!
මෙම ලිපිය පූජ්ය ජෝසෆ් ප්රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.


