අපි ජීවත් වෙන්නේ හැමදේම ලොකු ප්රතිඵලවලින් සහ ඉක්මන් සාර්ථකත්වයන්ගෙන් මැන බලන කාලයක. සද්දෙ වැඩි, වේගවත්, ලොකු දේවල් තමයි අද ලෝකේ ඉහළින්ම අගය කරන්නේ. අපි පරිස්සම් වුණේ නැත්නම්, අපේ ජීවිතයේ තියෙන පුංචි දේවල් දිහා බලලා “මම කරන මේ දෙයින් ඇති වැඩේ මොකක්ද?” කියලා අපිටත් හිතෙන්න පුළුවන්.
- සමහරවිට රක්ෂාව කරන තැන ඔයාව කාටවත් පෙනෙන්නේ නැතුව ඇති. ඔයා දවස පතා උපරිමයෙන් වැඩ කළත්, වෙන කෙනෙක්ට උසස්වීම් ලැබෙන්න ඇති.
- නැත්නම් ඔයා ගෙදර දොරේ වැඩ කටයුතු බලන, පවුල වෙනුවෙන් නොපෙනෙන සේවයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. කාටවත් පෙනෙන්නේ නැති ඒ මහන්සිය මැද ඔයාට හිතෙන්න පුළුවන් “මගේ සැමියා, මගේ ළමයි මම වෙන මහන්සිය දකිනවාද?” කියලා.
- එහෙමත් නැත්නම් ඔයා තාමත් ඉගෙනගන්න, නැත්නම් කාටවත් නොපෙනී සේවය කරන කෙනෙක් වෙන්න පුළුවන්. දෙවියන්වහන්සේ ඔයාගේ හදවතට දීපු ලොකු හීනයට යන්න මේ පුංචි දෙයින් මොනවා වෙන්නද කියලා ඔයාට හිතෙන්න පුළුවන්.
පුංචි පටන්ගැන්ම සුළු කොට තකන්න එපා
අද මට ඔයාව ධෛර්යමත් කරන්න දෙන්න: පුංචි පටන්ගැන්ම සුළු කොට තකන්න එපා!
මිනිස්සු අපේ මහන්සිය නොදැක්කත්, දෙවියන්වහන්සේ කිසිම වෙලාවක අපේ පුංචි දෙයක්වත් අමතක කරන්නේ නෑ. උන්වහන්සේ වෙනුවෙන් ඔයා කරන හැම පුංචි දෙයක්ම උන්වහන්සේ දකිනවා.
ඇත්තටම උන්වහන්සේ අපව ලොකු දේකට සූදානම් කරන්නේ, උසස් කරන්නේ ඒ පුංචි දේවල් හරහායි. ඒ පුංචි දේ උන්වහන්සේට නිකම්ම දෙයක් නෙවෙයි — ඒක බීජයක්! ඒ පුංචි පටන්ගැන්ම ඔයාගේ පුහුණු බිමයි, ඔයාගේ සූදානමයි.
“නුඹේ අතට සම්බවෙන කිනම් වැඩක් වුවද නුඹේ මුළු ශක්තියෙන්ම කරන්න.”
— දේශනාකාරයා 9:10
ඉතින් අද ඔයා ඉස්සරහ තියෙන වැඩේ මොකක්ද? ඉස්කෝලේ, රක්ෂාවේ, නැත්නම් සේවයේ… ඒක අනිත් අයට පුංචි දෙයක් වෙන්න පුළුවන්. ඒත් දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ඒක උන්වහන්සේ ඔයාට දීපු දේ හොඳ ආකල්පයකින් ඉටු කරන්න ලැබුණු ලොකු අවස්ථාවක්!
කුඩා එඬේර කොල්ලා වුණු දාවිත්ගේ පාඩම
දාවිත්ගේ ජීවිතයෙන් අපිට ලැබෙන්නේ ලොකු ධෛර්යයක්. සාමුවෙල් අනාගතවක්තෘවරයා දාවිත්ට රජ වෙන්න අභිෂේක කළාට පස්සෙවත්, දාවිත් රජ මාලිගාවට දුවගෙන ගිහින් රජ වෙන්න හැදුවේ නෑ. එයා ආයෙත් ගියේ තාත්තාගේ බැළුවෝ බලන්න! එයා තාත්තාගේ යටතේ ඉඳලා පවුලට විශ්වාසවන්තව සේවය කළා.
1 සාමුවෙල් 17:20 හි දාවිත් යුද්ධ පිටියේ හිටපු එයාගේ අයියලාට කෑම අරන් යන්න ගිය වෙලාවේ බයිබලය මෙහෙම ලස්සන විස්තරයක් කියනවා:
“දාවිත් උදේ පාන්දරම නැගිට, එළුවන් සහ බැළුවන් රකින්නෙකුට භාර දී, තමාගේ පියා නියම කළ දේ අරගෙන ගියේය.”
— 1 සාමුවෙල් 17:20
මම ඒකට හරිම ආසයි! දාවිත් තමන්ට භාරදීපු බැළුවන්ව නිකම්ම දාලා ගියේ නෑ. එයා මුලින්ම ඒ සත්තු පරිස්සම් වෙනවා කියලා තහවුරු කරගත්තා. අන්න ඒකයි පුංචි දේටත් තියෙන විශ්වාසවන්තකම!
එදා තාත්තා කිව්ව ඒ පුංචි පණිවිඩය අරන් ගිය එක ලොකු දෙයක් නෙවෙයි වගේ පෙනුණට, ඒක තමයි දාවිත්ගේ ජීවිතයේ ලොකුම පෙරළිය වුණේ! එයා පුංචි දේට විශ්වාසවන්ත වුණු නිසා, දෙවියන්වහන්සේ ලෑස්ති කරලා තිබුණු ඒ මහා අනාගතයට එයා පියනැගුවා. කවදාවත් හිතපු නැති විදිහට, එක ගලකින් ගොලියාත්ගේ හිස ගසා දමලා මුළු ඉශ්රායෙලයටම ජයග්රහණය ගෙනාවා!
පුංචි දේට විශ්වාසවන්ත වෙන්න
අද මේ දේ මඟහැරගන්න එපා: ඔයාගේ එදිනෙදා පුංචි වැඩවලදීත් සැමවිටම විශ්වාසවන්තව ඉන්න.
ජේසුස් ස්වාමීන්වහන්සේම මෙහෙම කිව්වා:
“කුඩා දේට විශ්වාසවන්තයා මහත් දේටත් විශ්වාසවන්ත වන්නේය.”
— ලූක් 16:10
තවද:
“නුඹලා අන්යයෙකුගේ දේට විශ්වාසවන්ත නැත්නම්, නුඹලගේම දේ නුඹලාට දෙන්නේ කවුද?”
— ලූක් 16:12
ඔයාගේ රක්ෂාව, ඉගෙනීම, ඔයා සේවය කරන තැන… අන්න ඒ තැන තමයි දෙවියන්වහන්සේ ඔයාගේ හදවත පුහුණු කරන්නේ, ඔයාගේ චරිතය ශක්තිමත් කරන්නේ!
ඉතින් අද ඔයාගේ අතේ තියෙන දේ මොකක් වුණත්, ඒ දේට විශ්වාසවන්ත වෙන්න. උසස්වීම් ලැබෙන එක දෙවියන්වහන්සේට භාරදෙන්න. උන්වහන්සේගෙන් ප්රඥාව, අනුග්රහය ඉල්ලන්න.
රහසේ දකින දෙවියන්වහන්සේ, නිසි වේලාවේදී, උන්වහන්සේගේ සුන්දර අනුග්රහය ඇතුව ඔයාව උන්වහන්සේ ලෑස්ති කළ නියම තැනට ගෙනෙයි!
මෙම ලිපිය පූජ්ය ජෝසෆ් ප්රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.


