ඔයාටත් කවදාහරි උදේට ඇහැරෙද්දී කිසිම ශක්තියක් නැතුව, මහන්සියක් දැනුණු අවස්ථා තියෙනවද?
ඇඟට ලොකු බරක් දැනෙනවා, මනස එකඟ කරගන්න බෑ. හොඳට නිදාගත්තා වගේ තිබුණට ඇඟට කිසිම සහනයක් නෑ. නැත්නම් දවස් ගාණක් තිස්සේ ඔයාට මෙහෙම දැනෙනවා ඇති.
ඔයාගේ හිතටත් නිකම්ම මෙහෙම ප්රශ්න එනවා ඇති:
- “මගේ ඇඟේ මොකක් හරි අසනීපයක්ද?”
- “මම ගන්න කෑමවල අවුලක්ද?”
- “මට විටමින් මදිද?”
මම මුලින්ම කියන්නම්: ශරීරය ගැන බලන එක හරිම නුවණට හුරු දෙයක්. හොඳ පෝෂණය, විවේකය, ව්යායාම හැමදේටම නිසි තැනක් තියෙනවා. ඔයා දොස්තර මහත්තයෙක්ගේ උපදෙස් මත බෙහෙත් ගන්නවා නම්, ඒක දිගටම කරන්න.
ඒත් ගොඩක් අයට මඟහැරෙන දෙයක් මට ඔයාට පෙන්නන්න දෙන්නද?
ඔයාගේ ආත්මයටත් පෝෂණය ඕනෙ
සමහර වෙලාවට ඔයාට දැනෙන ඒ මහන්සිය නිකම්ම ශරීරයේ ප්රශ්නයක් විතරක් නෙවෙයි. ඒක ඔයාගේ ඇතුළත මනුෂ්යයා (Spirit) ඉල්ලන පෝෂණය වෙන්න පුළුවන්. මොකද ඔයා නිකම්ම මස් ලේ විතරක් නෙවෙයි, ඔයාට ආත්මයක් තියෙනවා. ඒ ආත්මයටත් පෝෂණය ඕනෙ!
ජේසුස් ස්වාමීන්වහන්සේ මෙහෙම කිව්වේ අන්න ඒ නිසයි:
“මනුෂ්යයා රොටිවලින් පමණක් නොව, දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකින්ම ජීවත් වන්නේය.”
— මතෙව් 4:4
පොඩ්ඩක් නතර වෙලා ඒ ගැන හිතන්න.
අපි හැමෝම කෑම ගැන දන්නවා. කෑම නැතුව අපිට වැඩ කරන්න බෑ කියලා අපි දන්නවා. සමහරුන්ට උදේ කෑම එක මඟහැරුණොත් දවල් වෙද්දී මහන්සියි, කේන්ති යනවා, එකඟ වෙන්න බෑ. ඇඟ අපිට කියනවා “මට පෝෂණය ඕනෙ” කියලා.
ඒ වගේම තමයි, ඔයාගේ ආත්මයට පෝෂණය ලැබුණේ නැත්නම්, පිටතින් හැමදේම හොඳයි වගේ පෙනුණත් ඇතුළෙන් ඔයා සම්පූර්ණයෙන්ම වැටෙනවා.
මුළු ශරීරයටම සුවය දෙන වචනය
අද මට ඕනෙ ඔයා මේ සත්යය තදින්ම තේරුම් ගන්නවා දකින්න.
විටමින්වලින්, කෑමවලින් ලැබෙන ශක්තියට වඩා ලොකු, බලවත් ජීවන උල්පතක් ඔයාට තියෙනවා! දෙයන්වහන්සේගේ වචනය ගැන හිතෝපදේශ 4:22 කියන දේ බලන්න:
“මක්නිසාද ඒවා සම්බවෙන අයට ජීවනයද, ඔවුන්ගේ මුළු ශරීරයටම සුවයද වන්නේය.”
— හිතෝපදේශ 4:22
ඔයා ඒක දැක්කා නේද? ශරීරයේ කොටසකට විතරක් නෙවෙයි — “මුළු ශරීරයටම සුවය”! ඔයාගේ මනසට, හැඟීම්වලට, ශරීරයේ හැම සෛලයකටම, හැම පද්ධතියකටම!
දෙවියන්වහන්සේගේ වචනය කියන්නේ නිකම්ම තොරතුරු නෙවෙයි. ජේසුස් වහන්සේ යොහන් 6:63 හි කිව්වා: “මා නුඹලාට කී වචන ආත්මයත් ජීවනයත්ය” කියලා. ඔයා බයිබලය අරිද්දී ඔයා බලන්නේ නිකම්ම කොළයක තියෙන අකුරු දිහා නෙවෙයි, ජේසුස් වහන්සේ දිහයි! උන්වහන්සේගේ උත්ථානයේ ජීවනය ඔයාගේ ඇතුළට ගලාගෙන එනවා.
ලොකු වෙනසක් එකපාරටම නොදැනුණත්, අසනීප ලක්ෂණ එකපාරටම නැති වුණේ නැතත්, ඔයා තවමත් ටිකක් මහන්සියෙන් හිටියත් — ඔයාගේ ඇතුළේ යම් දෙයක් සිද්ධ වෙනවා!
වචනයෙන් පෝෂණය ලබන හැටි
ඒත් හිතෝපදේශ 4:22 හි ලස්සන දෙයක් තියෙනවා: ඒ වචන ජීවනය සහ සුවය වෙන්නේ “ඒවා සම්බවෙන අයට” (to those who find them) පමණයි.
කෑම කෑම මේසෙ උඩ තිබුණට වැඩක් නෑ, අපි ඒක අරන් කන්න ඕනෙ නේද? ඒ වගේම දෙවියන්වහන්සේගේ වචනය ඇතුළේ ජීවනය තිබුණත්, අපි ඒකට වෙලාව දීලා අපේ ආත්මයට ලබාගන්න ඕනෙ.
මට මහන්සියක්, අසනීපයක් දැනෙද්දී මම පෞද්ගලිකව කරන දේ ඔයාට කියන්නද?
මම බයිබලය ඇරලා ජේසුස් වහන්සේ කරපු සුවකිරීම් ගැන කියවන්න පටන් ගන්නවා.
- 🩸 ලෙඩ රෝගයෙන් පෙළුණු ස්ත්රියට සුවය ලැබුණු හැටි…
- ✋ වියළි අතක් තිබුණු මනුෂ්යයාට සුවය ලැබුණු හැටි…
- 👁️ අන්ධයන්ට පෙනීම ලැබුණු හැටි, කොර වූවන් ඇවිදපු හැටි…
මම ඒවා එකින් එක කියවද්දී මගේ ඇතුළෙන් විශ්වාසය නැගිටිනවා. හදවතට ලොකු සමාදානයක් එනවා.
මට මතකයි එකපාරක් මට තද උණක් හැදුණු වෙලාවක, මම ශුභාරංචි පොත්වල තියෙන සුවකිරීම් ගැන කියවන්න පටන් ගත්තා. කොහොම වුණාද දන්නේ නෑ, මටත් නොදැනීම එකපාරටම උණ බැහැලා ගියා! අන්න ඒකයි දෙවියන්වහන්සේගේ වචනයේ තියෙන බලය.
මම තවත් ආස දෙයක් තමයි, සුවකිරීමේ බයිබල පද (Healing Scriptures) Audio ප්ලේ කරලා ඒක අහගෙන ඉන්න එක. නිදාගන්න වෙලාවටත් මම ඒක කාමරයේ ප්ලේ වෙන්න අරිනවා. ඒ වචන මගේ මනසට සහ හදවතට සුවය ගෙනෙනවා.
අදම ඔයාගේ ආත්මයට පෝෂණය දෙන්න
ඉතින් ඔව්, විටමින් ගන්න. හොඳට කන්න, හොඳට නිදාගන්න. ඒ හැමදේම විශ්වාසයෙන් කරන්න. ඒත් ඔයාගේ ආත්මයට පෝෂණය දෙන්න අමතක කරන්න එපා.
ඔයා බෙහෙත් ගන්නවා වගේම, දෙවියන්වහන්සේගේ වචනය ඇතුළේ ඉන්න කාලය ගන්න. උන්වහන්සේගේ සුවකිරීමේ බලයට ඉඩ දෙන්න. ඒකට කිසිම අතුරු ආබාධයක් නෑ!
එකපාරටම ලොකු වෙනසක් දැනුණේ නැතත් කලකිරෙන්න එපා. ඔයාගේ ඇතුළේ යමක් සිද්ධ වෙනවා. ඔයා උන්වහන්සේගේ වචනයෙන් පෝෂණය වෙද්දී, ක්රිස්තුස් වහන්සේව මරණයෙන් උත්ථාන කළ ඒ ශුද්ධාත්මයාණන් වහන්සේ ඔයාගේ ශරීරයට ජීවනයත්, මුළු ශරීරයටම සුවයත් ගෙනෙනවා!
මෙම ලිපිය පූජ්ය ජෝසෆ් ප්රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.


