යුද්ධයේ නියම ජයග්‍රහණය තීරණය වන තැන

ජීවිතයේ ප්‍රශ්න අමාරු වෙද්දී… පීඩනය වැඩි වෙද්දී, තත්වය නරක අතට හැරෙද්දී, නැත්නම් වටපිටාවෙන් එක එක උත්තර ඉල්ලද්දී… ඔයා මොකද කරන්නේ?

අපි ගොඩක් අය කරන්නේ එකපාරටම පිටතින් පෙනෙන ප්‍රශ්න පාලනය කරන්න දුවන එකයි.

  • “මම දැන් මොකක්ද කරන්න ඕනෙ?”
  • “මම කාටද කතා කරන්න ඕනෙ?”
  • “මේ ප්‍රශ්නය මම හදාගන්නේ කොහොමද?”

ඔව්, කරන්න ඕනෙ ප්‍රායෝගික දේවල් තියෙනවා. ගන්න ඕනෙ තීරණ, තියන්න ඕනෙ පියවරවල් තියෙනවා. ඒත් අද මට ඕනෙ ඔයාට හරිම වැදගත් දෙයක් පෙන්නන්න. ඒක මේ වගේ අභියෝගාත්මක වෙලාවල්වලදී ඔයා ක්‍රියා කරන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරයි!

මොකද, නියම යුද්ධය තියෙන්නේ පිටත නෙවෙයි.

නියම යුද්ධය තියෙන්නේ අපේ ඇතුළතයි! ඇතුළත සමාදානය රජ කරනවාද, නැත්නම් බිය සහ කලබලය රජ කරනවාද කියන එක මතයි ජයග්‍රහණය තීරණය වෙන්නේ. පිටතින් කිසිම දෙයක් වෙනස් වෙන්න කලින්, ඇතුළතදී ඒක දිනන්න හෝ පැරදෙන්න පුළුවන්.


අමලෙක්වරුන් සහ රෙපීදීම්හි යුද්ධය

මාත් එක්ක නික්මයාම 17 පරිච්ඡේදයේ තියෙන මේ කතාව බලන්න.

ඉශ්‍රායෙල් සෙනඟ රතු මුහුදෙන් එතෙර වෙලා ඇවිත් “රෙපීදීම්” කියන තැන කඳවුරු බැඳගත්තා. හෙබ්‍රෙව් භාෂාවෙන් “රෙපීදීම්” කියන්නේ “විවේක සුවය ලබන ස්ථානය” කියන එකයි. අන්න ඒ ස්ථානයේදී තමයි එයාලට “අමලෙක්” කියන සෙනඟගෙන් තමන්ගේ පළමු යුද්ධයට මුහුණ දෙන්න වුණේ.

“අමලෙක්” කියන නම හැදිලා තියෙන්නේ “අමල්” කියන හෙබ්‍රෙව් වචනයෙන්. ඒකේ තේරුම “වේදනාකාරී වෙහෙස” නැත්නම් “වෙහෙසකර වෙහෙසීම” කියන එකයි. දෙවියන්වහන්සේ ඒ පුංචි විස්තරය පවා බයිබලයට ඇතුළත් කළේ අද අපිට යමක් පෙන්නන්නයි. ඒකෙන් අපේ සතුරා සහ එයාගේ නියම අරමුණ එළිදරව් වෙනවා!

සතුරාට ඕනෙ නිකම්ම ඔයාව පරද්දන්න විතරක් නෙවෙයි; එයාට ඕනෙ ඔයාව වෙහෙසට පත් කරන්නයි. ඔයාගේම ශක්තියෙන් සටන් කරලා, ඔයාගේම වෙහෙසීම්වලට හිරවෙලා, නියම බලය සහ ශක්තිය එන්නේ කොහෙන්ද කියලා ඔයාට අමතක කරවන්නයි එයාට ඕනෙ!


ජයග්‍රහණය තීරණය වුණු කන්ද උඩ මොහොත

අමලෙක්වරුන් ඉදිරියේදී, මෝසෙස් යෝෂුවාට කිව්වා පිරිසක් තෝරාගෙන ගිහින් යුද්ධ කරන්න කියලා. යෝෂුවා ඒ දේ කළා.

ඒත් මෝසෙස් කළේ මොකක්ද? එයා ළඟ තිබුණු කන්ද මුදුනට නැග්ගා. එතන ඉඳගෙන එයා දෙවියන්වහන්සේගේ සැරයටිය අහස දෙසට එසෙව්වා.

බයිබලය මෙහෙම කියනවා:

“මෝසෙස් තමාගේ අත ඔසවා තබාගත් කල ඉශ්‍රායෙල්වරු ජයගත්තෝය; ඔහු අත පහත හෙලූ කල අමලෙක්වරු ජයගත්තෝය.”
— නික්මයාම 17:11

ඉශ්‍රායෙල්වරු ජයගත්තේ යෝෂුවා සහ අනිත් අය තදින් සටන් කරපු නිසා නෙවෙයි! යුද්ධයේ ප්‍රතිඵලය තීරණය වුණේ යුධ පිටියේදී නෙවෙයි, මෝසෙස් දෙවියන්වහන්සේ කෙරෙහි සම්පූර්ණයෙන්ම යැපෙමින් කන්ද උඩ සැරයටිය ඔසවාගෙන හිටපු මොහොතෙදියි!

මෝසෙස්ගේ අත් තදින් වෙහෙසෙද්දී, ආරොන් සහ හූර් ගලක් ගෙනැත් එයාට වාඩිවෙන්න දුන්නා. ඉර බහිනකන්ම දෙපැත්තෙන් එයාගේ අත් දෙකට වාරු දුන්නා. අන්තිමේදී ඉශ්‍රායෙල්වරු පූර්ණ ජයග්‍රහණයක් ලැබුවා!


දෙවියන්වහන්සේගේ නිමකළ කාර්යය උසස් කරන්න

මෝසෙස්ගේ අතේ තිබුණු ඒ සැරයටිය තමයි රතු මුහුද දෙබෑ කරපු, පර්වතයෙන් වතුර ගෙනාපු, පුදුම සහකාර දේවල් කරපු දෙවියන්වහන්සේගේ සැරයටිය!

අද අපිට ඒකෙන් නිරූපණය වෙන්නේ කුරුසිය සහ අපගේ ජේසුස් ස්වාමීන්වහන්සේගේ නිමකළ කාර්යයයි (Finished Work).

මෝසෙස් යුද්ධය වෙලාවේදී එසෙව්වේ තමන්ගේම ශක්තියවත්, සැලසුම්වත් නෙවෙයි. එයා එසෙව්වේ ඒ වෙනකොටත් පාරක් හදලා දීපු දෙවියන්වහන්සේගේ නිමකළ කාර්යයයි!

අමාරු වෙලාවක වුණත් ඔයා ඇතුළතින් විවේකීව (At Rest) ඉන්න තෝරාගනිද්දී, ඔයා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්:
“ස්වාමීනි, මගේම ශක්තියෙන් මේ යුද්ධය දිනන්න මට බෑ. ඒත් මගේ ඇස් තියෙන්නේ ඔබවහන්සේ කෙරෙහියි. ඔබගේ පුත්‍රයාණන් මා උදෙසා කර අවසන් කළ ඒ මහා කාර්යය මම උසස් කරනවා!”

ඔයාට ගන්න පුළුවන් බලවත්ම ආකල්පය අන්න ඒකයි!

ඔව්, කරන්න තියෙන දේ කරන්න. විශ්වාසවන්තව මුහුණ දෙන්න. ඒත් පිටතින් වෙන දේට විතරක් උත්තර දෙන්න දුවන්න එපා. ඇතුළතින් “ස්වාමීන්වහන්සේ තුළ වාඩිවෙලා ඉන්න” (Remain Seated) තෝරාගන්න!

මොකද අපි ජයග්‍රහණය ලබාගන්න සටන් කරන අය නෙවෙයි. අපි සටන් කරන්නේ ඒ වෙනකොටත් ලැබී තියෙන ජයග්‍රහණය මත ඉඳගෙනයි!


උසස් ස්ථානයකට පැමිණෙන්න

ඉතින් අද ඔයා මුහුණ දීලා තියෙන්නේ මොන වගේ දේකටද? රෑට නිදාගන්න නොදී වද දෙන රක්ෂාවේ ප්‍රශ්නයක්ද, ළමයා එක්ක තියෙන විසඳගන්න බැරි ගැටලුවක්ද, නැත්නම් ජීවිතයේ පීඩනය සහ වගකීම්ද… දෙවියන්වහන්සේ ඔයාගෙන් ඉල්ලන්නේ නැහැ ඔයාගේම ශක්තියෙන් ඒක විසඳගන්න කියලා.

උන්වහන්සේ ඔයාට ආරාධනා කරන්නේ උසස් ස්ථානයකට එන්න කියලයි!

ඇතුළතින් සමාදානයෙන්, විවේකීව ඉන්න. ඒ ප්‍රශ්නය උඩට උන්වහන්සේගේ නිමකළ කාර්යය ඔසවන්න. නියම ජයග්‍රහණය එන්නේ අන්න ඒ ස්ථානයෙනි!


මෙම ලිපිය පූජ්‍ය ජෝසෆ් ප්‍රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.