ඔයා කවදාහරි නිරීක්ෂණය කරලා තියෙනවද, සමහර අය වචන පහක් විතරක් කිව්වත් මුළු කාමරයේම ඉන්න අයගේ අවධානය එයාලා වෙතට ගන්න හැටි?
එයාලට අනිත් අයව අමාරුවෙන් තර්ක කරලා පටලවගන්න ඕනෙ නැහැ. ලොකු දේශනා පවත්වන්න ඕනෙ නැහැ. එයාලා නිකම්ම කතා කරනවා… ඒත් ඒ වචන හරිම බරපතල විදිහට, කෙළින්ම හදවතටම වදිනවා.
ඒත් තවත් සමහරු ඉන්නවා, පැයක් තිස්සේ කතා කළත්, ලස්සන වචන පාවිච්චි කළත්, ලොකු අයගේ නම් කිව්වත්, එක වචනයක්වත් හිතේ රැඳෙන්නේ නැහැ.
සමහරු මේකට “චමත්කාරය” (Charisma) නැත්නම් “අමුතු ආකර්ෂණයක්” තියෙනවා කියලා කිව්වට, ඊට වඩා ලොකු දෙයක් එතන තියෙනවා. දෙවියන්වහන්සේට පුළුවන් විශ්වාසවන්තයෙකුගේ වචනවලට මේ ලෝකයේ අයට නැති අමුතුම වෙනසක් එකතු කරන්න.
ඒ තමයි ශුද්ධාත්මයාණන් වහන්සේගේ අභිෂේකය!
වෙනස ඇති කරන්නේ අන්න ඒකයි. සමහර අයගේ වචන ඇතුළේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය සහ අභිෂේකය පිරිලා තියෙනවා. අනිත් අයගේ තියෙන්නේ නිකම්ම නිකම් වචන විතරයි.
කිසිම වචනයක් අපතේ නොයන බලය
සාමුවෙල් අනාගතවක්තෘවරයාගේ වචන ගැන බයිබලය කියන්නේ මොකක්ද කියලා බලන්න:
“ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටිසේක, උන්වහන්සේ ඔහුගේ වචනවලින් කිසිවක් පොළොවට වැටෙන්න නෑරියසේක.”
— 1 සාමුවෙල් 3:19
ඔයාත් ඒකට ආස නැද්ද? නිකම්ම නිකම් බලපෑමක් නෙවෙයි, වචනවලට ලොකු බරක් ලැබෙන එක. ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලයෙන් සහ නුවණින් පිරුණු වචන!
පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා දෙවියන්වහන්සේගේ බලයෙන් කතා කරද්දී, මිනිසුන්ගේ මනස්වල තියෙන වැරදි මත සහ බන්ධන කඩලා වැටෙනවා, එයාලා නිදහස් වෙනවා. ඔයා යාච්ඤා කරද්දී, කාලයක් තිස්සේ තිබුණු පීඩනයන් පහව යනවා, ශරීර සුව වෙනවා. ඔයා අනිත් අයව ධෛර්යමත් කරද්දී, ඒ වචන නිකම්ම සැනසිල්ලක් විතරක් නෙවෙයි, ඇත්තටම එයාලගේ හදවත්වලට විශ්වාසය සහ ධෛර්යය ගෙනෙනවා.
ඔයාගේ ස්වර්ගීය පියාණන්වහන්සේට ඕනෙ ඔයාගේ කතාවත් අන්න ඒ වගේ වෙනවා දකින්නයි.
පාවුල් අපොස්තුළුතුමාගේ ආත්මික රහස
“ඒත් ඒක වෙන්නේ කොහොමද?”
පාවුල් අපොස්තුළුතුමා 1 කොරින්ති 14 පරිච්ඡේදයේ කියපු දෙයක් මම ඔයාට පෙන්නන්නම්. එයා අන්ය භාෂාවලින් යාච්ඤා කරන එක ගැන කතා කරද්දී මෙන්න මේ හරිම පුදුම ප්රකාශය කරනවා:
“මම නුඹලා සැමටම වඩා අන්ය භාෂාවලින් කතා කරන බැවින් මාගේ දෙවියන්වහන්සේට ස්තුති කරමි.”
— 1 කොරින්ති 14:18
ඒ ගැන පොඩ්ඩක් හිතන්න. අලුත් ගිවිසුමෙන් වැඩි කොටසක් ලියපු, අවුරුදු 2,000 කට වඩා වැඩි කාලයක් සභාවට මඟපෙන්වපු පාවුල් කියනවා, එයා අනිත් හැමෝටම වඩා අන්ය භාෂාවලින් යාච්ඤා කළා කියලා!
ඊටපස්සේ එයා මෙහෙම කියනවා:
“නමුත් සභාවේදී අන්ය භාෂාවකින් වචන දසදහසක් කියනවාට වඩා, අන් අයටත් උගන්වන පිණිස මගේ බුද්ධියෙන් වචන පහක් කතා කරන්න කැමැත්තෙමි.”
— 1 කොරින්ති 14:19
මෙතන “අන් අයටත්” (that I may teach others also) කියන වචනය දිහා බලන්න. ඒකෙන් අපිට පෙනෙනවා පාවුල්ගේ පෞද්ගලික ආත්මික ජීවිතයේ රහස! පාවුල් කියන්නේ එයාගේ පෞද්ගලික වේලාවේදී එයා අන්ය භාෂාවලින් නොකඩවා යාච්ඤා කරද්දී දෙවියන්වහන්සේ මුලින්ම එයාට උගන්වනවා. ඊටපස්සේ තමයි එයාට පුළුවන් වෙන්නේ අන් අයටත් උගන්වන්න.
පාවුල් සභාවේදී කියපු වචන පහට එච්චර ලොකු බරක් තිබුණේ අන්න ඒ නිසයි! මොකද එයා ඊට කලින් ආත්මයෙන් වචන දසදහසක් (10,000) යාච්ඤා කරලා තිබුණා!
මුවහත් වුණු පිහියක් වැනි ආත්මයක්
ඔයාට ඒක තේරෙනවා නේද? එයා නොකඩවා අන්ය භාෂාවෙන් යාච්ඤා කළා. එයා සභාවේදී කට අරිද්දී, ඒ වචන නිකම්ම තොරතුරු (Information) විතරක් නෙවෙයි; ඒවා දෙවියන්වහන්සේගේ එළිදරව්වලින් (Revelation) පිරිලා තිබුණා. ඒවායේ ලොකු බලයක් තිබුණා! පාවුල් දේශනා කරද්දී මිනිස්සුන්ට නිකම්ම තොරතුරු ලැබුණා විතරක් නෙවෙයි, එයාලගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.
මම මේ සත්යය මගේ ජීවිතයේ වගේම අනිත් අයගේ ජීවිතවලත් ඕනෑතරම් දැකලා තියෙනවා.
කතා කරන වචනවලට අමුතුම බරක් තියෙන, දෙන උපදෙස්වලින් ජීවිතවලට පෙරළි ඇතිවෙන, කරන යාච්ඤාවලින් වාතාවරණය වෙනස් වෙන නායකයෝ දිහා බැලුවොත්… එයාලා ගොඩක් වෙලාවට අන්ය භාෂාවෙන් ගොඩක් යාච්ඤා කරන අය! ඒක එයාලට ස්වාභාවිකව තියෙන දක්ෂතාවයක්වත්, කතාවට තියෙන හැකියාවවත් නෙවෙයි. අන්ය භාෂාවෙන් යාච්ඤා කිරීම මඟින් ඔයාගේ ආත්මය මුවහත් වෙනවා (Sharpen).
මෙන්න මෙහෙම හිතන්න:
- 🔪 මුවහත් නැති (ගල් වුණු) පිහියකින් යමක් කපන්න ලොකු වෙහෙසක් දැරිය යුතුයි. ලොකු ශක්තියක් යොදවන්න ඕනෙ.
- ✨ ඒත් හොඳට මුවහත් වුණු පිහියකින් කිසිම වෙහෙසක් නැතුව හරිම ලස්සනට, පිරිසිදුව කැපෙනවා!
අන්න ඒ වගේ, ඔයා නොකඩවා අන්ය භාෂාවෙන් යාච්ඤා කරද්දී, ඔයාගේ ආත්මය හරිම සංවේදී වෙනවා. ශුද්ධාත්මයාණන් වහන්සේ කියන දේට, උන්වහන්සේ ක්රියා කරන්න හදන විදිහට ඔයාගේ ආත්මය එකඟ වෙනවා. ඔයා ස්වර්ගයේ ස්වරූපයට (Frequency) සෙට් වෙනවා! එතකොට ඔයාගේ කටින් පිටවෙන වචන කෙළින්ම නියම තැනට වදින්නේ කිසිම වෙහෙසක් නැතුවයි.
ඇතුළතින් ගොඩනැඟෙන ජීවිතය
මම මගේ පෞද්ගලික ජීවිතයේදීත් මේක අත්විඳලා තියෙනවා. මම පැය ගාණක් අන්ය භාෂාවෙන් යාච්ඤා කරලා දේශනා කරන්න නැගිට්ටාම, ඒ කතා කරන වචනවල තියෙන පැහැදිලි බව සහ බලය මගේ එකක් නෙවෙයි! ඒක මගේ කතාවේ තියෙන ලස්සනවත්, මම බයිබලය පාඩම් කරපු වෙලාවවත් නෙවෙයි. ඒ මම හරහා ක්රියා කරන ශුද්ධාත්මයාණන් වහන්සේයි.
1 කොරින්ති 14:4 හි කියනවා:
“අන්ය භාෂාවකින් කතා කරන්නා තමාම ගොඩනඟාගන්නේය.”
— 1 කොරින්ති 14:4
“ගොඩනඟාගන්නවා” කියන වචනයේ තේරුම “ගෙයක් හදනවා” කියන එකයි. ඔයා ඔයාවම ගොඩනඟාගන්නවා. ඔයාගේ පදනම ශක්තිමත් කරගන්නවා. ඔයා ඇතුළේ තියෙන ශුද්ධාත්ම ත්යාගයන් අවදි කරගන්නවා.
ඔයා ඒ දේ වැඩි වැඩියෙන් කරද්දී, ඔයාගේ එදිනෙදා සාමාන්ය වචන පවා දෙවියන්වහන්සේගේ සන්නිධානයෙන් පිරී යනවා!
අපගේ ජේසුස් ස්වාමීන්වහන්සේ මෙහෙම කිව්වා:
“මා නුඹලාට කී වචන ආත්මයත් ජීවනයත්ය.”
— යොහන් 6:63
මට ඔයා වෙනුවෙන් ඕනෙ අන්න ඒ දේමයි! ආත්මයත්, දෙවියන්වහන්සේගේ ජීවනයත් අරන් යන වචන! මොකද මිනිස්සුන්ට නිකම්ම තොරතුරු නෙවෙයි ඕනෙ. එයාලට ඕනෙ සුවය! එයාලට ඕනෙ බලාපොරොත්තුව! එයාලට ඕනෙ ජේසුස් ස්වාමීන්වහන්සේවමයි!
අදම ඒ පුරුද්ද පටන්ගන්න
ඉතින් අද මට ඔයාට දෙන්න තියෙන සරලම ධෛර්ය ගැන්වීම මෙන්න මේකයි:
ඒක ඔයාගේ එදිනෙදා පුරුද්දක් කරගන්න. පාරේ යද්දී, වැඩ කරද්දී, දවසේ වැඩ කටයුතු අතරතුර… පාවුල් කරපු දේ කරන්න — ආත්මයෙන් යාච්ඤා කරන ඒ වචන දසදහස වෙනුවෙන් කාලය ආයෝජනය කරන්න!
එතකොට, සැබෑ ලෙසම දේවල් වෙනස් කරන්න, ලොකු වෙනසක් ඇති කරන්න බලය තියෙන ඒ වචන පහ දෙවියන්වහන්සේ ඔයාට භාරදෙයි!
මෙම ලිපිය පූජ්ය ජෝසෆ් ප්රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.


