හදවතට නිදහසක් දැනෙනකන් දිගටම යාච්ඤා කරන්න

ඔයා කවදාහරි අඟුරු පත්තු කරලා බාබකිව් එකක් හදන්න හරි කෑමක් පුච්චන්න හරි හදලා තියෙනවද?

මුලින්ම අඟුරු පත්තු කරද්දී ගින්දර හරිම පුංචියි. නැත්නම් ටික වෙලාවක් තියලා තිබුණාම ගින්දර නිවිලා, අඟුරු ටික නිකම්ම දුම් දම දමා තියෙයි.

ඒත් ඔයා පතපොතකින් හරි කාඩ්බෝඩ් කෑල්ලකින් හරි ඒ අඟුරු ටිකට හුළං ගහන්න පටන් ගන්නවා. එහාට මෙහාට, එහාට මෙහාට… ටික වෙලාවක් යනකන් කිසිම වෙනසක් පෙනෙන්නේ නැහැ. එහෙන් මෙහෙන් පුංචි ගිනි පුපුරක් විතරක් එයි.

ඒත් ඔයා හුළං ගහන එක නතර කරන්නේ නැහැ.

ඊටපස්සේ එකපාරටම — හෝස් ගාලා මුළු අඟුරු ගොඩම ලොකුවට පත්තු වෙන්න පටන් ගන්නවා!

ආත්මයෙන් යාච්ඤා කරන එකත් සමහර වෙලාවට අන්න ඒ වගේමයි!

ඔයා ජීවිතයේ යම් ප්‍රශ්නයක් වෙනුවෙන් අන්‍ය භාෂාවලින් යාච්ඤා කරන්න පටන් ගන්නවා… සමහරවිට ඒක ඔයාගෙන් ඈත් වුණු දරුවෙක් ගැන වෙන්න පුළුවන්, ශරීරයේ අසනීපයක් ගැන වෙන්න පුළුවන්, නැත්නම් විසඳුමක් පෙනෙන්න නැති සල්ලි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්… මුලදී කිසිම වෙනසක් පෙනෙන්න නැහැ.

ඔයාගේ කට හොල්ලනවා, වචන පිටවෙනවා, ඒත් කිසිම දෙයක් වෙනස් වෙනවා වගේ පෙනෙන්නේ නැහැ. ඔයාගේ ඇතුළට පවා කිසිම දෙයක් දැනෙන්නේ නැහැ.

ටික වෙලාවක් යද්දී ඔයාට මෙහෙම හිතෙන්න ගන්නවා: “ඇත්තටම මෙතන මොකක් හරි සිද්ධ වෙනවාද?”

ඔයාටත් එහෙම හිතිලා තියෙනවා නම්, අද මට ඔයාව ධෛර්යමත් කරන්න දෙන්න: දිගටම හුළං ගහන්න! දිගටම ආත්මයෙන් යාච්ඤා කරන්න! හදවතට ලොකු නිදහසක් දැනෙනකන් (Release) යාච්ඤා කරන්න.

අර අඟුරු ගොඩ එකපාරටම පත්තු වුණා වගේ, ඒ නිදහස දැනෙද්දී ඔයාට ඒක ඉබේම තේරෙයි! ඒක පරීක්ෂා කර කර, ප්‍රශ්න කර කර ඉන්න ඕනෙ දෙයක් නෙවෙයි. ඔයාගේ ඇතුළතින්ම ඒක දැනෙයි. ඔයාගේ හිතට බරක් වෙලා තිබුණු දෙයක් ඉවත් වෙනවා වගේ දැනෙයි. තිබුණු කලකිරීම සහ පීඩනය පහව යයි. හිතට ලොකු සැහැල්ලුවක්, සමාදානයක් ඇතුළු වෙයි.

අන්න ඒකයි ඒ “ලැබුණු නිදහස” (Release) කියන්නේ.


නිදහස ලැබෙන්නේ කොහොමද?

සමහර වෙලාවට ඒ නිදහස එකපාරටම ලැබෙනවා. ඔයා යාච්ඤා කරද්දී එකපාරටම හදවතට ලොකු සමාදානයක් ගලාගෙන එනවා. සුවය ලැබෙන්න පටන් ගන්නවා, අසනීප ලක්ෂණ අඩුවෙනවා. ඒත් තවත් වෙලාවකට ඒකට පැය ගාණක්, නැත්නම් දවස් ගාණක් යන්න පුළුවන්.

ඔයා යාච්ඤා කරලා නතර කරයි, ඒත් ආයෙත් ඇවිත් ආත්මයෙන් යාච්ඤා කරන්න. අතහරින්න එපා! ඒ ප්‍රශ්නය හිතට එන හැමවෙලාවකම ඒක දෙවියන්වහන්සේ ඉදිරියට ගෙනෙන්න.


නොකඩවා යාච්ඤා කිරීමේ වැදගත්කම

මම මේ කියන්නේ හැමවෙලාවෙම ඒ විදිහටම වෙයි කියලා නෙවෙයි. දෙවියන්වහන්සේ හරිම ඉක්මනින් ක්‍රියා කරලා ඔයාව පුදුම කරවන මොහොතවල් තියෙනවා.

ඒත් තවත් වෙලාවකට, ඔයාට නොකඩවා උත්සාහයෙන් යාච්ඤා කරන්න (Persevere) සිද්ධ වෙනවා.


සතුරාගේ බොරුවලට රැවටෙන්න එපා

ඔයාගේ හිතට නිකම්ම පාළු බවක් දැනෙද්දී යාච්ඤා කරන එක නතර කරන්න එපා. ඔයාට නතර කරන්න හිතුණත් නතර කරන්න එපා. යම් වෙනසක් සිද්ධ වෙනකන්ම දිගටම හුළං ගහන්න!

ඔයා මේ විදිහට යාච්ඤා කරද්දී යක්ෂයා ඒකට හරිම අකමැතියි. ඔයා යාච්ඤා කරන්න පටන් ගත්තු ගමන් එයා ඔයාගේ මනසට මෙහෙම අදහස් දානවා:

  • ❌ “ඔයා කාලය නාස්ති කරනවා…”
  • ❌ “කිසිම දෙයක් වෙන්නේ නෑ…”
  • ❌ “මේකෙන් කිසිම වැඩක් නෑ…”

එයාට ඕනෙ ඔයාව නතර කරන්නයි. මොකද එයා දන්නවා ඔයා කරන්නේ මොකක්ද කියලා! ඔයා කරන්නේ එයාට කඩන්න, තේරුම් ගන්න, නැත්නම් නතර කරන්න බැරි පූර්ණ යාච්ඤාවක් (Perfect Prayer)!

ඉතින් ඒ වගේ අදහස් හිතට එද්දී — ඒ එන්නේ සතුරා බයෙන් කරන කඩාපැනීමක් කියලා අඳුනගන්න, අඳුනගෙන දිගටම යාච්ඤා කරන්න!


හදවතට එන ස්ථිර නිදහස

අන්තිමේදී ඒ නිදහස ලැබෙද්දී, ඔයා යාච්ඤා කරපු දේ ඔයාට ලැබුණා කියන ලොකු ස්ථිරකම සහ විශ්වාසය ඔයාගේ හදවතට එයි! ඒක ඔයාගේ ශරීරයේ සුවය, තීරණයකට අවශ්‍ය නුවණ, සම්බන්ධතාවයක නැවත ගොඩනැඟීම, නැත්නම් ඔයා ආදරේ කරන කෙනෙකුගේ ආරක්ෂාව වෙන්න පුළුවන්.

තත්වය වෙනස් වෙන්න යන වේගය මත ඔයාගේ යාච්ඤාවේ බලය මනින්න එපා. ආත්මයෙන් පටන් ගත්තු දේ, නියම වේලාවේදී පිටතින් ඉටු වෙනවාමයි!

ඉතින් දිගටම යාච්ඤා කරන්න. දෙවියන්වහන්සේට යටත් වෙන්න. දෙවියන්වහන්සේ ඔයාට දීපු ඒ බලවත්දේ, දිගටම ගින්දරක් වගේ පත්තු කරන්න!


මෙම ලිපිය පූජ්‍ය ජෝසෆ් ප්‍රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.