හදවතේ සමාදානය නැතිවීම අමතක කරලා දාන්න එපා

ශුද්ධාත්මයාණන් වහන්සේ අපට මඟපෙන්වන හරිම ප්‍රායෝගික විදිහක් ගැන අද මම ඔයාලා එක්ක බෙදාගන්නද? ගොඩක් විශ්වාසවන්තයෝ හැමදාම අත්විඳින, ඒත් ගොඩක් වෙලාවට ගණන් ගන්නේ නැතුව අමතක කරලා දාන දෙයක් ගැන.

ඒක ලොකු අමාරු දෙයක් නෙවෙයි. ඔයා ඒක තේරුම් ගත්තාම, දෙවියන්වහන්සේ ඔයාගේ ජීවිතයට කොච්චර නම් සම්බන්ධ වෙලා ඉන්නවාද කියලා දැකලා ඔයා පුදුම වෙයි!

ලෑස්තිද? මෙන්න ඒ දේ.

ශුද්ධාත්මයාණන් වහන්සේට පුළුවන් ඔයාගේ හදවතට දැනෙන නොසන්සුන්කම නැත්නම් සමාදානය නැතිවීම හරහා ඔයාට මඟපෙන්වන්න. විශ්වාසවන්තයෙකුගේ සාමාන්‍ය ස්භාවය තමයි හැමදාම උන්වහන්සේගේ සමාදානය අත්විඳින එක. ඉතින් පිටතින් හැමදේම හොඳින් තියෙද්දී, එකපාරටම හදවතේ තිබුණු සමාදානය නැතිවෙලා යනවා නම් මම ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා.

පොඩ්ඩක් මාත් එක්ක ඉන්න, මම ඒක පැහැදිලි කරන්නම්.

ශුද්ධාත්මයාණන් වහන්සේ මේ විදිහට මඟපෙන්වද්දී අපිට ඒක මඟහැරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ එකපාරටම එන නොසන්සුන්කම… බඩ ඇතුළෙන් එන යම් අසහනකාරී අමුතු හැඟීම…

ගොඩක් වෙලාවට අපි කරන්නේ ඉක්මනටම හිත හදාගෙන ඒක අමතක කරලා දාන එකයි.

  • “මම මේ නිකම් ඕනවට වඩා හිතනවා වෙන්න ඇති…”
  • “ඒත් පිටතින් බලද්දී හැමදේම හොඳට තියෙනවනේ…”

අපි ගොඩක් දෙනෙක් අහලා තියෙන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ මඟපෙන්වන්නේ ශුද්ධ ලියවිල්ල හරහා, හොඳ උපදෙස් හරහා, නැත්නම් දෙවියන්වහන්සේ අරින දොරවල් හරහා කියලයි. ඔව්, උන්වහන්සේ ඒ විදිහට මඟපෙන්වනවා තමයි! ඒත් උන්වහන්සේ සමාදානය නැතිවීම හරහා අපිට යමක් කියන්න හදද්දී, ඒක “ආත්මිකයි” වගේ පෙනෙන්නේ නැති නිසා අපි ඒක ගණන් ගන්නේ නැතුව දානවා.

ඔයාටත් කවදාහරි ඒක දැනෙනවා ඇති. “මොකක් හරි වැරැද්දක් තියෙනවා” වගේ හිතට දැනෙන හැඟීම. වචනවලින් කියන්න තේරෙන්නේ නැහැ. වටපිටාවේ හැමදේම හොඳින් තියෙනවා, ඒත් ඇතුළතින් මොකක්දෝ නොසන්සුන්කමක් තියෙනවා.

රෝම 8:6 හි මෙහෙම කියනවා:

“ආත්මික මනස ජීවනයත් සමාදානයත්ය.”
— රෝම 8:6

ආත්මයෙන් ගමන් කරන විශ්වාසවන්තයෙකුට සාමාන්‍යයෙන් තියෙන්නේ අන්න ඒ ජීවනය සහ සමාදානයයි. ඒක හරියට කොළ පාට ලයිට් විතරක් තියෙන පාරක බාධාවක් නැතුව වාහනය පදවාගෙන යනවා වගේ දෙයක්.

ඒත් සමහර වෙලාවට ඒ ලයිට් එක රතු පාට වෙනවා! අන්න ඒ වෙලාවට තමයි අපි හොඳටම අවධානය දෙන්න ඕනෙ.

කොන්ත්‍රාත් එකකට අත්සන් කරන්න යද්දී සිතට එන ඒ පසුබටවීම… රක්ෂාවේ ලොකු අදහසක් ක්‍රියාත්මක කරන්න යද්දී එකපාරටම හිතට එන බාධාව… නිවාඩුවක් ගත කරන්න යන්න හිතද්දී හදවතින් සමාදානය නැතිවී යාම… ඇතුළතින් කිසිම සැනසිල්ලක් නැති වෙනවා වගේ දැනීම…

නැත්නම් ඔයා අලුතෙන් කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පටන් ගත්තා කියමු. එයා කියන කරන හැමදේම හරිම ලස්සනයි, ඒත් ඒ හැමදේටම යටින් ඔයාගේ හිත ඇතුළේ කොච්චර අමතක කරන්න හැදුවත් නැවත නැවත එන පුංචි නොසන්සුන්කමක් තියෙනවා.

අන්න ඒක ශුද්ධාත්මයාණන් වහන්සේ ඔයාට කියන “පොඩ්ඩක් වේගය අඩු කරන්න” කියන සංඥාව වෙන්න පුළුවන්!

ඒක ගණන් ගන්නේ නැතුව ඉන්න එපා.


හැම නොසන්සුන්කමකම ආත්මිකද?

දැන් මට මේක පැහැදිලි කරන්න දෙන්න. දැනෙන හැම නොසන්සුන්කමක්ම ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් නෙවෙයි. සමහර දවස්වලට ඒක අපේ මාංශයේ හෝ ශරීරයේ වෙහෙස වෙන්න පුළුවන්. අපි මහන්සි වෙලා, පීඩනයෙන් ඉද්දී හැමදේම අමාරුයි වගේ දැනෙනවා. මම ඔයාට කියන්නේ නැහැ දැනෙන හැම පුංචි දේම දෙවියන්වහන්සේගෙන් ආපු එකක්ද කියලා පස්සෙන් යන්න කියලා.

ඒත් මේ ගැන පොඩ්ඩක් හිතන්න: ඒ නොසන්සුන්කම ඇත්තටම දෙවියන්වහන්සේ ඔයාට මඟපෙන්වන්න හදන විදිහ වුණොත්?

අන්න ඒ නිසයි මම ඔයාට කියන්නේ ඒ වගේ මොහොතවල් දෙවියන්වහන්සේ ළඟට අරගෙන යන්න කියලා. ඒක ඇත්තටම උන්වහන්සේගෙන්ද නැත්නම් ඔයාගේම නොසන්සුන්කමක්ද කියලා ඔයාට විශ්වාස නැතත්, ඔයා උන්වහන්සේව සොයද්දී, ඒක මැන බලන්නත්, අවශ්‍ය නම් ඔයාව නිවැරදි මඟට ගන්නත් ඔයා උන්වහන්සේට ඉඩ දෙනවා.

එතකොට ඔයා ආයෙත් උන්වහන්සේගේ ගමනට එකතු වෙනවා. ඒක ඇත්තටම ශුද්ධාත්මයාණන් වහන්සේගේ මඟපෙන්වීම නම්, මොහොතකට නැවතිලා උන්වහන්සේගෙන් අහන ඒ පුංචි දේ නිසා පස්සේ කාලෙක පසුතැවෙන්න වෙන ලොකු වැරදි තීරණයකින් ඔයා බේරෙන්න පුළුවන්!

හිතෝපදේශ 3:5–6 හි මෙහෙම කියනවා:

“නුඹේ මුළු හෘදයෙන් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න, නුඹේම නුවණට නොඅදින්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සිහි කරන්න, එිට උන්වහන්සේ නුඹේ මාවත් පෙනෙන පිණිස තද කරදෙනසේක (සුමට කරනසේක).”
— හිතෝපදේශ 3:5–6

මෙතන “තද කරදෙනසේක / සුමට කරනසේක” (Direct) කියන හෙබ්‍රෙව් වචනයේ තේරුම “කැළඹීම් නැතිව කෙළින් කිරීම” නැත්නම් “සුමට කිරීම” කියන එකයි. දෙවියන්වහන්සේට ඕනෙ ඔයාගේ පාර සුමට කරන්නයි. ඒත් උන්වහන්සේ ඒක කරන්නේ ඔයා උන්වහන්සේව සිහි කරද්දී, මොහොතකට නැවතිලා පාලනය උන්වහන්සේට භාරදීලා, උන්වහන්සේට ඉදිරියෙන් යන්න ඉඩ දෙද්දී විතරයි.


අදම ක්‍රියාත්මක කළ හැකි සරල පියවරක්

ඉතින් අද ඉඳන්ම ක්‍රියාවට නංවන්න පුළුවන් සරල ප්‍රායෝගික දෙයක් මෙන්න.

ඊළඟ පාර යම් තත්වයක් හමුවේ ඔයාගේ හදවතේ තිබුණු ජීවනය සහ සමාදානය ගිලිහී යනවා වගේ දැනෙද්දී, ඒක ගණන් ගන්නේ නැතුව ඉ ඉදිරියටම යන්න එපා. ඒ රතු ලයිට් එක ළඟ නවතින්න!

උන්වහන්සේගෙන් මෙහෙම අහන්න:
“ස්වාමීනි, මේ ඔබවහන්සේද? මෙතන මම දකින්න ඕනෙ මොකක් හරි දෙයක් තියෙනවාද?”

සමහර වෙලාවට උන්වහන්සේ ඔයාගේ පාර සම්පූර්ණයෙන්ම වෙනස් කරයි. තවත් වෙලාවකට, උන්වහන්සේ ඔයාගේ හදවත තැන්පත් කරලා, ඉදිරියට යන්න අවශ්‍ය “ශාලොම්” (සමාදානය) දෙයි. මෙතන වඩාත්ම වැදගත් දේ තමයි ඔයා ආයෙත් ඔයාගේ ඇස් උන්වහන්සේ වෙතට යොමු කරලා, උන්වහන්සේට මඟපෙන්වන්න ඉඩ දීපු එකයි.

ඒක හැමවෙලාවෙම හරිම තීරණයයි!

ශුද්ධාත්මයාණන් වහන්සේ ඔයාගේ ජීවිතයට සම්බන්ධ වෙන්න හරිම ආසයි. උන්වහන්සේ මේ මොහොතේත් ඔයා තනිවම තෝරාගන්නවාට වඩා හුඟක් යහපත් දෙයක් දෙසට ඔයාව හෙමින් සැරේ මඟපෙන්වමින් සිටිනවා.


මෙම ලිපිය පූජ්‍ය ජෝසෆ් ප්‍රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.