දවස ඉවර වේගෙන එද්දී, සමහරවිට ඔයාට කරන්න බැරි වුණු හැමදේම ගැන ඔයා හිතනවා ඇති. වඩා හොඳින් කරන්න තිබුණා කියලා හිතෙන කතාබහ… මඟහැරුණාද කියලා බයෙන් ඉන්න අවස්ථාව… මේ වෙද්දී ලබාගෙන තියෙයි කියලා හිතපු ප්රගතිය…
ඒත් එක්කම ඇතුළතින් ලොකු පීඩනයක් ගොඩනැඟෙන්න පටන් ගන්නවා ඔයාට දැනෙනවා ඇති. තව දේවල් කරන්න ඕනෙ, තව දක්ෂ වෙන්න ඕනෙ, ඉක්මනට විසඳුම් හොයාගන්න ඕනෙ කියන අසහනකාරී හැඟීම හිතට එනවා ඇති.
අද රෑ, මට ඔයාට මතක් කරන්න ඕනෙ මෙන්න මේ දේ: දෙවියන්වහන්සේගේ අනුග්රහය (Favor) ලැබෙන්නේ ඔයා ඇතුළතින් විවේකීව (At Rest) ඉන්න විටයි!
අමාරුවෙන් මහන්සි වීමෙන් නෙවෙයි. කලබලයෙන් වැඩ කිරීමෙන් නෙවෙයි. ඔයාගේම ශක්තියෙන් ඔයාව ඔප්පු කරන්න හරි දේවල් සිද්ධ කරගන්න හරි හදන එකෙන් නෙවෙයි.
විවේකීව සිටීමෙන් පමණයි!
සැබෑ විවේකය කියන්නේ මොකක්ද?
හැබැයි මතක තියාගන්න, විවේකය කියන්නේ කම්මැලි කමවත්, කිසිම දෙයක් නොකර ඉන්න එකවත් නෙවෙයි. ජීවිතයෙන් පැනලා යන එකවත්, ඔයාගේ වගකීම් අතහරින එකවත් නෙවෙයි. විවේකය කියන්නේ ජේසුස් ස්වාමීන්වහන්සේ ඔයා වෙනුවෙන් ඒ වෙනකොටත් කර අවසන් කරපු දේ කෙරෙහි තියෙන ඇතුළත විශ්වාසය සහ ගැඹුරු ස්ථිරකමයි.
ඒ ඇතුළත විවේකය තුළ ඉඳගෙන ඔයාට පුළුවන් ඔයාගේ වැඩ කටයුතු කරන්න, කෝල් කරන්න, විශ්වාසයෙන් ඉදිරියට පියවර තියන්න, දෙවියන්වහන්සේ ඔයාගේ හදවතට දාපු දේවල් පස්සේ යන්න. වෙනස තියෙන්නේ, ඔයා තවත් දෙයක් දිනාගන්න අමාරුවෙන් මහන්සි වෙන්නේ නැහැ. ඔයාට ඒ වෙනකොටත් හිමිවෙලා තියෙන දේ මත ඉඳගෙනයි ඔයා ක්රියා කරන්නේ!
ස්වර්ගීය පියාණන්ගේ සැලකිල්ල
අපගේ ජේසුස් ස්වාමීන්වහන්සේ මතෙව් 6:33 හි මෙහෙම කිව්වේ අන්න ඒ නිසයි:
“පළමුකොට දෙවියන්වහන්සේගේ රාජ්යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න, එවිට මේ සියල්ල නුඹලාට එකතු කර දෙනු ලබන්නේය.”
— මතෙව් 6:33
ඔයා ඒක දැක්කාද? මේ ලෝකයේ අය බයෙන් සහ වෙහෙසෙමින් පස්සෙන් දුවන මේ හැමදේම (සියල්ලම), ඔයා මුලින්ම උන්වහන්සේව සොයද්දී ඔයාට එකතු කරලා දෙනවා!
ඊට පද කිහිපයකට කලින් ස්වාමීන්වහන්සේ මෙහෙම කිව්වා:
“අහසේ කුරුල්ලන් දෙස බලන්න, උන් වපුරන්නේවත්, කපන්නේවත්, අටුකොටුවල රැස්කරන්නේවත් නැත; එසේ වුවත් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ උන්ට කෑම දෙනසේක. නුඹලා උන්ට වඩා බෙහෙවින් අගනේ නැද්ද?”
— මතෙව් 6:26
ඊටපස්සේ උන්වහන්සේ මෙහෙම කිව්වා:
“තණපිටියේ මල් වැවෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේවත්, නූල් කටින්නේවත් නැත. නමුත් මම නුඹලාට කියමි, තමාගේ මුළු ශ්රීයෙන් සැරසුණු සාලමොන් පවා මේ එක මලක් මෙන් සැරසී සිටියේ නැත.”
— මතෙව් 6:28-29
ඔයා දෙවියන්වහන්සේගේ ආදරණීය දරුවෙක්
ඒක තමයි ඔයාගේ ඇත්තම අනන්යතාවය! ඔයා මේ අමාරු ලෝකය ඇතුළේ ජීවත් වෙන්න තනිවම සටන් කරන කෙනෙක් නෙවෙයි. ඔයා අහන්නත් කලින් ඔයාගේ හැම වුවමනාවක්ම දන්නා ස්වර්ගීය පියාණන්වහන්සේගේ ආදරණීය දරුවෙක්!
උන්වහන්සේ අහසේ කුරුල්ලන්ට කෑම දෙනවා නම්, තණපිටියේ මල් එච්චර ලස්සනට සරසනවා නම්, ඔයා ගැන කොච්චර නම් වැඩියෙන් බලයිද?
අපගේ ජේසුස් ස්වාමීන්වහන්සේ හෙට දවස ගැන කරදර වෙන්න එපා කියලා කිව්වේ අන්න ඒ නිසයි. කරදර වෙන එක දෙවියන්වහන්සේව අඳුනන්නේ නැති අය කරන දෙයක්. ඒත් ඔයා පියාණන්වහන්සේව අඳුනනවා. ඔයා උන්වහන්සේව අඳුනන නිසා, ඔයාට පුළුවන් ඇතුළතින් විවේකීව ඉන්න.
ඉතින් අද රෑ, දෙවියන්වහන්සේ ඔයාට නොමිලේ දීලා තියෙන දේවල් ලබාගන්න තවත් වෙහෙසෙන්න හදන්න එපා.
ඔයා විවේක ගනිද්දී උන්වහන්සේ ක්රියා කරනවා
හෙට දවසේ අනුග්රහය දිනාගන්න මහන්සි වෙන්න එපා. ඇස් පියවගන්න කලින් හැමදේටම විසඳුම් හොයාගන්න ඕනෙ නැහැ. ඒ වෙහෙසීම නැවැත්විය හැකියි. කරට අරන් තියෙන ඒ ලොකු පීඩනය ඔයාගේ කරෙන් අයින් කරන්න පුළුවන්. අනුග්රහය ඇති කරන එක ඔයාගේ කාර්යය නෙවෙයි. ඔයාගේ කොටස තමයි ඔයාට දෙවියන්වහන්සේගේ අනුග්රහය ලැබී තියෙනවා කියලා විශ්වාස කරන එක!
අද රෑ නින්දට යද්දී, මේ සත්යය ඔයා වෙනුවෙන් ක්රියාත්මක වෙනවා කියලා විශ්වාස කරන්න. දෙවියන්වහන්සේගේ අනුග්රහය ඔයා කෙරෙහි තියෙන්නේ ඔයා උන්වහන්සේට අයිති නිසා විතරයි. ඔයා උන්වහන්සේගේ ආදරණීය දරුවා. ඔයාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ මේ වෙනකොටත් ඔයා වෙනුවෙන් වැඩ කරනවා!
ඔයා විවේක ගනිද්දී, උන්වහන්සේ ක්රියා කරනවා. උන්වහන්සේගේ අනුග්රහය ඔයාට ඇරගන්න බැරි දොරවල් අරිනවා. කොච්චර පස්සෙන් දිව්වත් ලබාගන්න බැරි සැපයීම් උන්වහන්සේ ගෙනෙනවා. පාරක් නැති තැන පාරක් හදනවා!
මෙම ලිපිය පූජ්ය ජෝසෆ් ප්රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.


