ඔයා කවදාහරි ඔයාගේ ජීවිතයේ පසුගිය කාල පරිච්ඡේදයන් දිහා ආපසු හැරී බලලා කල්පනා කරලා තියෙනවද… “මේ හැමදේම එකට එකතු වෙන්නේ කොහොමද?” කියලා.
සමහරවිට ඔයා දැන් ඉන්න තැන, හැමදේම ටිකක් අවුල් වෙලා, කිසිම දෙයක තේරුමක් නැහැ වගේ ඔයාට දැනෙනවා ඇති.
එක් මොහොතක ඔයාට හිතෙනවා ඔයා කොහොමහරි ඉදිරියට යනවා කියලා. ඒත් ඊළඟ මොහොතේම මොකක් හරි දෙයක් කඩාගෙන වැටෙනවා. සම්බන්ධතාවයක් නතර වෙනවා. රක්ෂාව නැති වෙනවා. ඔයා ලොකු බලාපොරොත්තුවකින් හිටපු දෙයක් එකපාරටම ඔයාගේ අත් අතරින් ගිලිහී යනවා.
එතකොට ආයෙත් ඒ ප්රශ්නය හදවතට එනවා: “ස්වාමීනි, මේ හැමදේම ඇතුළේ ඔබවහන්සේ කරන්නේ මොකක්ද?”
ඔයා දැන් මුහුණ දෙන දේ තේරුම් ගන්න උදව් වෙන ලස්සන උපමාවක් මම කියන්නද?
ගෙත්තම් තිරයේ උපමාව
ලස්සනට රටා වියපු, එකිනෙකට වෙනස් වර්ණවලින් යුත් නූල් එකතු කරලා හදපු හරිම අලංකාර ලොකු ගෙත්තම් තිරයක් (Tapestry – විසිතුරු රෙදි තිරයක්) ගැන හිතන්න.
දැන්, ඔයාට පුළුවන් වුණොත් ඒ වගේ තිරයක් ලඟට ගිහින් බලන්න, ඒකේ පිටුපස පැත්ත (අනිත් පැත්ත) පොඩ්ඩක් බලන්න. ඔයාට පෙනෙයි ඒ තිරයේ පිටුපස පැත්තේ තියෙන්නේ සම්පූර්ණ අවුලක් විතරයි කියලා! එක එක තැනින් එළියට ආපු නූල්, හැමතැනම ගහපු ගැට, ගැලපෙන්නේ නැති පාටවල්, කිසිම පැහැදිලි රටාවක් නැහැ. ඒක නිකම්ම නිකම් අවුල් ජාලයක් විතරයි!
සමහරවිට මේක කියවන ගමන් ඔයාට මෙහෙම හිතෙනවා ඇති: “අපෝ ඔව්, .. මගේ ජීවිතෙත් දැනට තියෙන්නේ අන්න ඒ වගේ තමයි!”
අද මට ඕනෙ මෙන්න මේ දේ කියලා ඔයාව ධෛර්යමත් කරන්නයි.
එෆීස 2:10 හි මෙහෙම කියනවා:
“තවද අපි උන්වහන්සේගේ නිර්මාණය වන්නෙමු; දෙවියන්වහන්සේ අප උන්වහන්සේ තුළ හැසිරෙන පිණිස කලින් සූදානම් කළ යහපත් ක්රියා පිණිස, ක්රිස්තුස් ජේසුස් වහන්සේ තුළ මවනු ලැබුවෙමු.”
— එෆීස 2:10
තවත් පරිවර්තනයක කියන්නේ, “ඔයා උන්වහන්සේගේ විශිෂ්ටතම නිර්මාණයයි (Masterpiece)” කියලයි! ඔයා හදලා තියෙන්නේ ලොකු අරමුණක් සහ අනාගතයක් ඇතුවයි. ඔයාට ඇතුළු වෙන්න යහපත් දේවල් උන්වහන්සේ ඒ වෙනකොටත් සූදානම් කරලා ඉවරයි!
යෝසෙප්ගේ ජීවිතයේ කතාව
දැනට ඔයාගේ ජීවිතයේ කතාව මොන වගේ පෙනුණත්, දෙවියන්වහන්සේගේ පැත්තෙන් බලද්දී ඔයාගේ ජීවිතය අවුලක් නෙවෙයි. මහා ශිල්පියාණන් වන දෙවියන්වහන්සේ ක්රියා කරමින්, හරිම ලස්සන, ගෞරවනීය තිරයක් වියමින්” සිටිනවා. ඔයාගේ ජීවිතය නිර්මාණය වෙමින් පවතින විශිෂ්ටතම කලාකෘතියක්!
බයිබලයේ ඉන්න යෝසෙප් ගැන හිතන්න. එයාව එයාගේම සහෝදරයෝ වික්කා. එයාට වංචා කළා. බොරු චෝදනා කළා. හිරගෙදරට දැම්මා. හැමෝටම එයාව අමතක වුණා. යමෙකුට තමන්ගේ ජීවිතය නූල් පටලැවුණු අවුල් ජාලයක් කියලා හිතෙන්න හේතු තිබුණා නම්, ඒ වෙන කාටවත් නෙවෙයි යෝසෙප්ටයි!
ඒත් අවුරුදු ගාණකට පස්සේ, එයා ඊජිප්තුවේ අගමැති විදිහට තමන්ගේ සහෝදරයන් ඉදිරියේ සිටගනිද්දී, එයා හරිම පුදුම දෙයක් කිව්වා:
“නුඹලා මට විපත්තියක් කරන්න සිතුවහුය; නමුත් දෙවියන්වහන්සේ බොහෝ සෙනඟක් ජීවත් කරවන පිණිස ඒක යහපතට ඇරවූසේක.”
— උත්පත්ති 50:20
අනිත් අය එයාට හානි කරන්න හදපු දේ, දෙවියන්වහන්සේ ඒ වෙනකොටත් යහපතට හරවන්න සැලසුම් කරලා තිබුණා! ඒ යෝසෙප් වෙනුවෙන් විතරක් නෙවෙයි, තවත් හුඟක් දෙනෙක්ගේ ජීවිත බේරගන්න එයාව පත් කරන්නයි.
දෙවියන්වහන්සේගේ හදවත ඔයා වෙනුවෙනුත් අන්න ඒ වගේමයි!
උන්වහන්සේ සියල්ල යහපතට හරවනවා
දැනට ඔයාට පෙනෙන්නේ ඒ තිරයේ පිටුපස පැත්ත විතරක් වෙද්දී, කිසිම දෙයක තේරුමක් පෙනෙන්න නැති වෙද්දී… ඒක අමාරුයි කියලා මම දන්නවා.
ඒත් දෙවියන්වහන්සේ දකින්නේ අනිත් පැත්තයි! උන්වහන්සේ දකින්නේ හරිම ලස්සනට නිම කරපු නිර්මාණයයි. ගැලවීමේ කතාවයි. අද ඔයාට විතරක් නෙවෙයි, යම් දවසක අනිත් අයටත් බලාපොරොත්තුව ගෙනෙන සාක්ෂියක් උන්වහන්සේ දකිනවා!
රෝම 8:28 හි මෙහෙම කියනවා:
“දෙවියන්වහන්සේට ප්රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අරමුණ ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකතුව ක්රියාකරන බව අපි දනිමු.”
— රෝම 8:28
සියලු දේම!
හොඳ මොහොතවල් විතරක් නෙවෙයි. ලේසි කාලවල් විතරක් නෙවෙයි. කඩා වැටීම්, ප්රමාද වීම්, හදවත බිඳුණු මොහොතවල්… කිසිදා සිදු නොවුණා නම් හොඳයි කියලා ඔයා හිතන දේවල් පවා!
දැන් අහන්න, සිද්ධ වෙන හැමදේම හොඳයි කියලා මම කියන්නේ නැහැ. සමහර දේවල් හරිම වේදනාකාරියි. සමහර දේවල් ඇත්තටම වැරදියි.
ඒත් දෙවියන්වහන්සේ කිසිම දෙයක් අපතේ යවන්නේ නැහැ!
ඔයා උන්වහන්සේට ළංවෙලා ඉද්දී, උන්වහන්සේට පුළුවන් ඒ අමාරුම මොහොතවල් පවා අරගෙන, ඔයාගේ ජීවිතයට ලස්සන දෙයක් එකතු කරන්න — ඒ නුවණ, ශක්තිය, පරිණතබව, නැත්නම් උන්වහන්සේ කෙරෙහි තියෙන ගැඹුරු යැපීම වෙන්න පුළුවන්.
මහා ශිල්පියාණන්ට භාරවෙන්න
ඉතින් අද, හැමදේම තනිවම තේරුම් ගන්න හදන්නේ නැතුව, ඊට වඩා හොඳ දෙයක් කරන්න මම ඔයාට ආරාධනා කරන්නද?
මහා ශිල්පියාණන් වන ඔයාගේ ජේසුස් ස්වාමීන්වහන්සේගේ දක්ෂ දෑත තුළ ඇතුළතින් විවේකීව ඉන්න (Rest)!
හැම නූල් පටක්ම ගැලපෙන්නේ කොහොමද කියලා ඔයා තේරුම් ගන්න ඕනෙ නැහැ. මුළු පින්තූරයම පෙනෙනකන් ඔයා බලන් ඉන්න ඕනෙ නැහැ. උන්වහන්සේට ළංවෙලා ඉන්න. උන්වහන්සේ දෙසම බලන්න.
යම් දවසක, ඔයා ඒ නිම කරපු ලස්සන තිරය දකිනවාමයි. ඔයා ආපසු හැරී බලලා තේරුම් ගනියි — ඒ අමාරු නූල් පටවල් පවා, දෙවියන්වහන්සේ කරපු ඒ මහා නිර්මාණය ඇතුළේ කොච්චර ලස්සනට ගැලපුණාද කියලා!
දැනුත් ඔයාට මේ ස්ථිරකම තියාගන්න පුළුවන්: ඔයා ඔයාගේ ඇස් උන්වහන්සේ කෙරෙහි තබාගනිද්දී, ස්වාමීන්වහන්සේ ඔයාගේ ජීවිතයෙන් මහා අලංකාර නිර්මාණයක් කරමින් සිටිනවා. උන්වහන්සේ ඔයාගේ කතාවේ හැම කොටසකින්ම කරන්නේ මොකක්ද කියලා උන්වහන්සේ හොඳටම දන්නවා!
මෙම ලිපිය පූජ්ය ජෝසෆ් ප්රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.


