ඔයා කරන්නේ මොකක්ද කියන දේට වඩා හුඟක් වටිනා කෙනෙක් ඔයා!

ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? සමහරවිට ඒක ඔයාව මොහොතකට පුදුම කරයි.

කවුරුහරි ඔයාගෙන් ඇහුවොත්, “කවුද ඔයා? ඔයා කරන්නේ මොකක්ද, වැඩ කරන්නේ කොහෙද, ඔයාගේ තනතුර මොකක්ද කියන එක නෙවෙයි… ඇත්තටම, කවුද ඔයා?” කියලා.

ඔයා මොකද කියන්නේ?

ඒකට උත්තර දෙන එක හිතන තරම් ලේසි නැහැ, නේද?

අපි කරන දේ අපි අනිත් අය එක්ක සම්බන්ධ වෙන විදිහට කොච්චර තදින් බද්ධ වෙලා තියෙනවාද කියනවා නම්, අපි අලුත් කෙනෙක්ව හමු වුණු ගමන්ම පළමු විනාඩි කිහිපය ඇතුළත අහන්නේ, “ඉතින්, ඔයා මොකද කරන්නේ?” කියලයි. අපි හිතන්නේවත් නැතුව එයාලට ලේබලයක්, තනතුරක්, නැත්නම් කාර්යයක් භාරදෙනවා.

  • “මම ෆයිනෑන්ස් ෆීල්ඩ් එකේ ඉන්නේ…”
  • “මම ගෙදර ඉන්න ගෘහණියක් / අම්මා කෙනෙක්…”
  • “මම මගේම බිස්නස් එකක් කරනවා…”
  • “මම පූර්ණකාලීන දේව සේවයේ ඉන්නේ…”

ඇත්තටම ඒ කිසිම දෙයක වැරැද්දක් නැහැ. දෙවියන්වහන්සේ අපිට රක්ෂාවක්, කාර්යයක් ලබාදීලා තියෙන්නේ යම් අරමුණකටයි. දෙවියන්වහන්සේ ආදම්ව ඒදන් උයන බලාගන්න පත් කළේ දඬුවමක් විදිහට නෙවෙයි, තෑග්ගක් විදිහටයි. අපේ රක්ෂාවෙන් හෝ කරන කැපවීමෙන් සැබෑ තෘප්තියක් ලබන්න උන්වහන්සේ අපව නිර්මාණය කරලා තියෙනවා. අපේ අරමුණ සහ තෘප්තිය ලැබෙන්නේ මොකෙන්ද කියලා උන්වහන්සේ හොඳටම දන්නවා.

ඒත් අපි පරිස්සම් වුණේ නැත්නම්, දෙවියන්වහන්සේ දීපු ඒ තෑග්ග අපේ ස්වාමියා බවට පත්වෙන්න පුළුවන්. ගොඩක් අය තමන්ගේ මුළු ජීවිත කාලයම වෙහෙසෙන්නේ රක්ෂාවේ ඉහළම තනතුරට යන්න හරි, සමාජයේ ලොකු නමක් හදාගන්න හරි විතරයි.

ඒක රක්ෂාවට විතරක් නෙවෙයි, ගෙදරටත් අදාළයි. අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් කැපවෙද්දී, දරුවන්ගෙන් වෙන පුංචි වැරැද්දක්, අමාරු කාල පරිච්ඡේදයක් පවා තමන්ගේම අසාර්ථකවීමක් විදිහට හිතට අරගෙන තමන්වම කඩාගෙන වැටෙන්න ඉඩ තියෙනවා. ඒක ඇගේම අනන්‍යතාවය විනාශ කරලා දානවා.


ඔයාගේ අනන්‍යතාවය ඔයාගේ රක්ෂාව නෙවෙයි

අද මට ඔයාට මතක් කරන්න ඕනෙ අන්න ඒ දේමයි: ඔයාගේ අනන්‍‍යතාවය (Identity) ඔයා කරන දේ මත ගොඩනඟාගන්න එපා! ඔයා කියන්නේ නිකම්ම නිකම් ඔයා කරන දේ විතරක් නෙවෙයි. ඔයා ඊට වඩා හුඟක් වටිනා කෙනෙක්!

අන්තිමේදී බලද්දී, ඔයා මනුෂ්‍ය ජීවියෙක් (Human Being) මිසක්, “වැඩ කරන යන්ත්‍රයක්” (Human Doing) නෙවෙයි නේද?

මම නිරීක්ෂණය කරපු දෙයක් තියෙනවා. අපේ අනන්‍යතාවය අපි කරන දේ මත රැඳිලා තියෙද්දී, අපි අපේක්ෂා නොකරන විදිහට අපි හරිම බිඳෙනසුලු වෙනවා.

අපේ වැඩට එන විවේචන අපි ඕනවට වඩා හිතට ගන්නවා. අපි අනිත් අය එක්ක තමන්ව සසඳන්න, තරඟ කරන්න පටන් ගන්නවා. වෙන කෙනෙක් අපි කරන දේම අපිට වඩා හොඳින් කරද්දී අපේ හිත නොසන්සුන් වෙනවා. අපි තනතුරුවලට, වැදගත්කම්වලට ඕනවට වඩා එල්ලී ඉන්නවා, මොකද ඒවා අතහැරීම අපේම කෑල්ලක් නැතිවෙනවා වගේ දැනෙන නිසා.

දෙවියන්වහන්සේට ඕනෙ ඔයා ඒ විදිහට ජීවත් වෙනවා දකින්න නෙවෙයි!


ගිනි පරීක්ෂාවට ඔරොත්තු දෙන අනන්‍යතාවය

අපි අපේ ජීවිත ගොඩනඟන්නේ මොනවායින්ද කියන එක ගැන පාවුල් අපොස්තුළුතුමා 1 කොරින්ති 3:12–13 හි කියන මේ ගැඹුරු නුවණ ගැන බලන්න:

“යමෙක් මේ පදනම පිට රන්, රිදී, මැණික්, ලී, තණකොළ, පිදුරු යන මෙයින් යමක් ගොඩනඟන්නේ නම්; එකිනෙකාගේ වැඩය පැහැදිලි වන්නේය. මන්ද ඒ දවස විසින් ඒක එළිදරව් කරනු ලබන්නේය, එය ගින්නෙන් එළිදරව් කරනු ලබන බැවින්, එකිනෙකාගේ වැඩය කෙබඳු එකක්දැයි ගින්නෙන්ම පරීක්ෂා කරනු ලබන්නේය.”
— 1 කොරින්ති 3:12–13

පාවුල් අපොස්තුළුතුමා මෙතන ඉදිකිරීම් ද්‍රව්‍ය වර්ග දෙකක් ගැන කතා කරනවා: එක පැත්තක ලී, තණකොළ, සහ පිදුරු… අනිත් පැත්තේ රන්, රිදී, සහ මැණික්.

ඒ ලී, තණකොළ, සහ පිදුරු කියන්නේ මොනවාද? ඒ තමයි ඔයා පිටතින් එකතු කරගන්න, ගොඩනඟන හැමදේම. තනතුරු, ජයග්‍රහණ, සහ ඔයා දරන චරිත. මේවා තාවකාලික දේවල්… ගින්න එද්දී මේවාට ඔරොත්තු දෙන්න බැහැ.

ඒත් රන්, රිදී, සහ මැණික් කියන්නේ මොනවාද? ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන්වහන්සේ ඒ වෙනකොටත් ඔයා ඇතුළේ පිහිටුවලා තියෙන දේවල්!

  • මහෝත්තම දෙවියන්වහන්සේගේ දියණියක් හෝ පුතෙක් ලෙස ඔයාට තියෙන අනන්‍යතාවය!
  • අලුත් මැවිල්ලක් ලෙස ඔයාට තියෙන තත්ත්වය!
  • උත්සාහයෙන් දිනාගත් එකක් නොව, නොමිලේ ලැබුණු ධර්මිෂ්ඨකම!
  • ඔයාගේ දක්ෂතාවය මත නෙවෙයි, උන්වහන්සේගේ ප්‍රේමය මත පදනම් වුණු ආදරණීය භාවය!

මෙන්න මේ දේවල් අල්ලන්න ගින්නටවත් බැහැ!


තනතුර නැතිවුණත් ඔයා කවුද?

ඔයා කිසිම සැකයක් නැතුව මේක විශ්වාස කරනවාට මම කැමතියි: දෙවියන්වහන්සේට ඇත්තටම ඕනෙ ඔයා කරන දේවලින් ඔයා සාර්ථක වෙනවා දකින්නයි! ඔයාගේ රක්ෂාවට අවශ්‍ය දක්ෂතාවය, තීරණ ගන්න නුවණ, සහ ඔයාට තනිවම ඇරගන්න බැරි දොරවල් ඇරෙන අනුග්‍රහය දෙන්න උන්වහන්සේ කැමතියි. උන්වහන්සේ ඔයාගෙන් ඉල්ලන්නේ නැහැ ඔයාගේ රක්ෂාව ගැන තියෙන උනන්දුව අතහරින්න කියලා.

ඒත් උන්වහන්සේට ඕනෙ නැහැ ඔයාගේ ජීවිතය කඩාගෙන වැටෙන තරම් නිරාවරණය වුණු තැනක ඔයා ඉන්නවා දකින්න.

කාන්තාවකට කියන්න පුළුවන්, “මම අම්මා කෙනෙක්” කියලා. ඒත් ළමයි ලොකු වෙලා ගෙදරින් යද්දී, ගෙදර පාළු වෙද්දී ඇය කවුද කියලා ඇය දන්නවාද?

“මම බැංකුකරුවෙක්” කියලා කියන මනුස්සයාට, එයා බැංකුවෙන් අයින් වෙන දවසට මොකද වෙන්නේ?

තමන්ගේ මුළු අනන්‍යතාවයම තමන්ගේ සේවයේ තනතුර මත ගොඩනඟාගත් නායකයෙකුට, ඒ සේවා කාලය ඉවර වුණාම සිද්ධ වෙන්නේ මොකක්ද?

මම ඔයාගෙන් මේ ප්‍රශ්නය අහන්නද?

අපේ තනතුරු, අපේ චරිත වෙනස් වෙද්දී… අපේ ලොකු ලේබල්, තනතුරු අයින් වෙලා යද්දී… ඇත්තටම, අපි කවුද?

දෙවියන්වහන්සේට ඕනෙ ඔයාට ඒ ප්‍රශ්නයට උත්තර හොයාගන්න උදව් කරන්නයි. යම් ලොකු කඩා වැටීමක් ආවාට පස්සේ නෙවෙයි, දැන්මම — ඇතුළත ආරක්ෂාව සහ විවේකය තුළ ඉඳගෙන!


ඔයා දෙවියන්වහන්සේගේ ආදරණීය දරුවෙක්!

ඉතින් අද, ඔයා මුහුණ දෙන්නේ මොන වගේ දේකට වුණත්, මොන වගේ බරක් උසුලාගෙන හිටියත්, මොහොතකට නැවතිලා ඔයාගේ හිත හදාගන්නවාද?

ඔයා කියන්නේ ඔයාගේ රක්ෂාවේ තනතුර නෙවෙයි. ඔයා කියන්නේ ඔයාගේ නිෂ්පාදනය හරි ප්‍රතිඵලය හරි නෙවෙයි. ඔයා ගොඩනඟපු හෝ මෙහෙයවපු දේවල්වල එකතුව නෙවෙයි ඔයා!

ඔයා දෙවියන්වහන්සේගේ පුතෙක්! දියණියක්!

ඒ ආදරය දිනාගන්න ඔයා එකම එක දෙයක්වත් කරන්න කලින් උන්වහන්සේ ඔයාට ආදරේ කළා. ඔයා කිසිම දෙයක් හරියට කළේ නැහැ කියලා හිතෙන දවස්වලදීත් උන්වහන්සේ ඔයාට ඒ විදිහටම ආදරෙයි!

ඔයාගේ ඇත්තම අනන්‍යතාවය අන්න ඒකයි! අමාරුම කාලවලදී පවා වෙනස් නොවී ඉතිරි වෙන්නේ අන්න ඒ සත්‍යය විතරයි!


මෙම ලිපිය පූජ්‍ය ජෝසෆ් ප්‍රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.