අපේ ජේසුස් ස්වාමීන්වහන්සේ කොච්චර වැඩ බහුල වුණත්, උන්වහන්සේ නිතරම අන් අයගෙන් වෙන්වී නිශ්ශබ්ද තැනකට ගිය බව ඔයා කවදාහරි නිරීක්ෂණය කරලා තියෙනවද?
ඒක අපි හිතන විදිහට සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. සෙනඟ වැඩි වෙද්දී, තවත් හුඟක් අයට උන්වහන්සේගේ අවශ්යතාවය තදින්ම දැනෙද්දී, කාලය මදි වෙද්දී පවා… ජේසුස් ස්වාමීන්වහන්සේ තනියම වෙන්වී ගිය බව ශුභාරංචි පොත්වල සඳහන් වෙනවා. යාච්ඤා කරන්න… නිසංසල පාළු ස්ථානයකට…
ලුක් 5 පරිච්ඡේදයේ ඒක හරිම පැහැදිලිව මෙහෙම කියනවා:
“උන්වහන්සේ නිතරම පාළු ස්ථානවලට වෙන්වී ගොස් යාච්ඤා කළසේක.”
— ලුක් 5:16
“නිතරම” (Often). කලාතුරකින් නෙවෙයි. වේලාවක් ලැබුණාම විතරක් නෙවෙයි.
අපේ ස්වාමීන්වහන්සේ ලෙඩුන් සුව කළා, යක්ෂයන් දුරු කළා, දහස් ගණනකට ඉගැන්නුවා, ගෝලයන්ට උපදෙස් දුන්නා. උන්වහන්සේගේ ඇඳුමේ අයින් කොන හරි අල්ලන්න සෙනඟ උන්වහන්සේව වටකරගත්තා. වෙන්වෙලා යාච්ඤා කරන්න බැරි තරම් “වැඩ බහුලයි” කියලා කියන්න කාටහරි හේතු තිබුණා නම්, ඒ වෙන කාටවත් නෙවෙයි අපේ ස්වාමීන්වහන්සේටයි!
ඒත් උන්වහන්සේ හැමවෙලාවෙම ඒ වෙනුවෙන් කාලය වෙන් කළා.
එළිවැටෙන්න කලින් ලැබුණු ශක්තිය
මාක් 1 පරිච්ඡේදයේ අපිට මේ ගැන හරිම බලවත් චිත්රයක් දකින්න ලැබෙනවා. ඊට කලින් දවස හරිම පුදුමාකාර එකක්. උගන්වීම්, නිදහස් කිරීම්, සහ සුවකිරීම්වලින් පිරිණු දවසක්. මුළු නගරයම එකතු වෙලා හිටියා, ජේසුස් ස්වාමීන්වහන්සේ රෑ බෝවන තෙක් හුඟක් අයව සුව කළා.
ඊටපස්සේ අපි මෙහෙම කියවනවා:
“උදෑසන, තවම හොඳටම එළිය වැටෙන්න කලින්, උන්වහන්සේ නැඟිට, පිටතට ගොස්, නිසංසල පාළු ස්ථානයකට වෙන්වී ගොස් එතැනදී යාච්ඤා කළසේක.”
— මාක් 1:35
“තවම හොඳටම එළිය වැටෙන්න කලින්!”
මොහොතකට එතන නැවතෙන්න. ඒ වගේ මහන්සි වුණු රෑකට පස්සේ, තමන්ගේ මුළු ශක්තියම සෙනඟ වෙනුවෙන් වැය කළාට පස්සේ, අපේ ජේසුස් ස්වාමීන්වහන්සේ තවම කරුවල තියෙද්දීම නැඟිටිනවා!
ඒ වගේ දවසකට පස්සේ උන්වහන්සේට ගොඩක් මහන්සි වෙන්න ඇති. පුළුවන් තරම් වැඩිපුර නිදාගන්න එක නේද සාමාන්යයෙන් හරි දේ? උන්වහන්සේ තමන්ගේ නින්ද කඩාගෙන, ඒ තරම් වැඩ බහුල කාලසටහනකින් මේ වටිනා කාලය වෙන් කරගත්තේ ඇයි?
මොකද අපේ ස්වාමීන්වහන්සේට… ඒ විදිහට නිසංසල තැනකට වෙන්වී යාම කියන්නේ වැඩවලට වුණු බාධාවක් නෙවෙයි!
ඒක උන්වහන්සේගේ ශක්තියේ උල්පතයි! තමන්ගේ ස්වර්ගීය පියාණන්වහන්සේගේ අභිමුඛය තුළින් දෙවියන්වහන්සේගේ ශක්තිය සහ පෝෂණය ලබපු ස්ථානය තමයි ඒ!
උන්වහන්සේ සෙනඟ අතරට අරන් ගිය හැමදේම — ඒ කරුණාව, පැහැදිලි බව, බලය, සහ කිසිදා වෙනස් නොවුණු සමාදානය — ඒ හැමදේම ආවේ අන්න ඒ නිසංසල ස්ථානයෙන්! ඒ පාළු ස්ථානය කියන්නේ අපේ ජේසුස් ස්වාමීන්වහන්සේ මහන්සිය නිවාගන්න විතරක් ගිය තැනක් නෙවෙයි. ඒක තමන්ගේ පියාණන්වහන්සේගෙන් නැවත පිරෙන්න ගිය තැනයි.
අද ඔයාගේ ජීවිතයට මේක වැදගත් වන්නේ ඇයි?
අද ඔයාගේ ජීවිතයට මේක හුඟක් වැදගත් වෙන්නේ මෙන්න මේ නිසයි.
ඔයයි මමයි ජීවත් වෙන්නේ අපේ ශක්තිය උරාගන්න පුළුවන් ලෝකයක. ගොඩක් වෙලාවට ඒක පිටතට එකපාරටම පෙනෙන්නේ නැහැ. ඒක හෙමින් සැරේ, නිහඬව වෙන දෙයක්. ඔයා තාමත් වැඩ කරනවා, ප්රශ්න පාලනය කරගන්නවා, හැමදේම අල්ලාගෙන ඉන්නවා. ඒත් මතුපිටට යටින්, ඔයාගේ ශක්තිය හරිම අඩුවෙලා ගිහින්.
ඔයා ඉන්න තත්වය ඇතුළේ දෙවියන්වහන්සේ ඔයා එක්ක ඉන්නවා කියන ඒ ප්රීතිය, ඉවසීම, නැත්නම් ස්ථිරකම දැන් ඔයාට දැනෙන්නේ නැහැ.
අද, අපේ ජේසුස් ස්වාමීන්වහන්සේ කරපු දේ කරන්න මම ඔයාට ආරාධනා කරනවා. පොඩ්ඩක් අයින් වෙන්න, නිසංසල තැනකට වෙන්වෙන්න… ඉතා පුංචි වේලාවකට හරි. ඔයාගේ සටහන් පොත ඇරලා, ඔයාගේ හිතට බරක් වෙලා තියෙන හැමදේම ඔයාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ ඉදිරියට ගෙනෙන්න.
විසඳගන්න බැරි වුණු රක්ෂාවේ ප්රශ්නය… ගෙදර නැවත නැවත එන අසහනකාරී වාතාවරණය… දරාගන්න අමාරු අධ්යාපනයේ / පන්තිවල පීඩනය… ඒ හැමදේම උන්වහන්සේ ඉදිරියට ගෙනෙන්න. ඒවා ලියන්න. ඊටපස්සේ උන්වහන්සේට සවන් දෙන්න.
රහස් ස්ථානයේ සිදුවන පුදුමය
පියාණන්වහන්සේ සමඟ ඒ රහස් ස්ථානයේ ඉද්දී හරිම බලවත් දෙයක් සිද්ධ වෙනවා! ඔයා තුවාල වෙලා කියලා ඔයා නොදැන සිටි තැන් පවා ස්වාමීන්වහන්සේ සුව කරනවා. හිස් වෙලා තිබුණු තැන් නැවත පුරවනවා. ඔයාගේ ප්රශ්නය දිහා බලන විදිහ වෙනස් කරන අලුත් බලාපොරොත්තුවකින් සහ ස්වර්ගීය දැක්මකින් උන්වහන්සේ ඔයාව පුරවනවා.
කරදර කරපු රක්ෂාවේ යාළුවා දිහා ඔයා වෙනස් විදිහකට බලන්න පටන් ගන්නවා. ගෙදර ප්රශ්නය ගැන වඩා පැහැදිලි තේරුම්ගැනීමක් එනවා. හිතට ලොකු බරක් වෙලා තිබුණු වැඩ කටයුතුවල පීඩනය අයින් වෙනවා ඔයාට දැනෙනවා.
දැන් ඔයාගේ ප්රශ්න වෙනස් නොවුණත්, ඔයා ඒවා දිහා බලන්නේ ඔයාගේ ඇස්වලින් නෙවෙයි — ඔයාගේ ස්වර්ගීය පියාණන්වහන්සේගේ ඇස්වලින්!
නිසංසල පාළු ස්ථානයක් කරන්නේ අන්න ඒ දේයි. ඒ රහස් ස්ථානය තියෙන්නේ අන්න ඒකටයි!
ඒක ජීවිතයේ ප්රශ්නවලින් පැනලා යාමක් නෙවෙයි. ප්රශ්න ජයගෙන ජීවිතය සාර්ථකව ජීවත් වෙන්න ඔයාට බලය දෙන්නේ අන්න ඒ වෙන්වීමයි!
පියාණන්වහන්සේගේ අභිමුඛයට පැමිණෙන්න
මිත්රයා, ඔයාගේ මුළු අවධානයම උන්වහන්සේ වෙතට ලබාගන්න පුළුවන් ඒ නිසංසල ස්ථානයට ස්වර්ගීය පියාණන්වහන්සේ අද ඔයාට ආරාධනා කරනවා. ඇත්තටම, උන්වහන්සේ එතන බලාගෙන ඉන්නවා… ඔයාව නැවත පුරවන්න, ධෛර්යමත් කරන්න, ඔයාව යථා තත්වයට පත් කරන්න!
ඉතින් අද ඉක්මන් වෙලා දුවන්න එපා. ඔයාට අවශ්ය හැමදේම උන්වහන්සේගේ සන්නිධානය තුළ තියෙනවා!
මෙම ලිපිය පූජ්ය ජෝසෆ් ප්රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.


