සමහරවිට ඔයා ඒ දේ ඔයාගේ මනසින් කොච්චර පැහැදිලිව මවාගත්තාද කියනවා නම්, ඒක ඔයාට හරිම ළඟයි කියලා දැනෙන්න ඇති.
ඔයා කාලයක් තිස්සේ යාච්ඤා කරපු ඒ ලොකු ජයග්රහණය… ඇරෙයි කියලා ඔයා ගොඩක් කාලයක් බලාපොරොත්තුවෙන් හිටපු ඒ දොරටුව… ඔයාට ලැබෙයි කියලා විශ්වාසයෙන් හිටපු ඒ රක්ෂාව… යම් තැනකට යයි කියලා හිතපු ඒ සම්බන්ධතාවය… යාළුවන්ට, නෑදෑයන්ට සංග්රහ කරමින් ඔයා ඉන්නවා මවාගත්ත ඒ ලස්සන ගෙදර…
ඒත් මොකක්දෝ හේතුවකට ඒ දොර වැසුණා. වෙන කෙනෙකුට ඒ අවස්ථාව ලැබුණා. ගෙදර අයිතිකාරයා වෙන කෙනෙක්ව තෝරාගත්තා. කිසිම පූර්ව දැනුම්දීමක් නැතුව ඒ සම්බන්ධතාවය නතර වුණා. එකපාරටම “ඔව්” කියපු දේ “නෑ” කියලා වෙනස් වෙද්දී, හිතට දැනෙන ඒ ලොකු කණගාටුව දරාගන්න ඔයා අමාරුවෙන් උත්සාහ කරනවා.
ඔයාගේ හදවතේ තියෙන ප්රශ්නය මෙන්න මේ වගේ එකක් වෙන්න ඇති කියලා මට හිතෙනවා: “ස්වාමීනි, ඇයි මෙහෙම වුණේ? මට මොකක් හරි වැරදුණාද? ඔබවහන්සේ ඇත්තටම මාත් එක්ක ඉන්නවාද?”
ඔයාටත් අද දැනෙන්නේ අන්න ඒ විදිහට නම්, බයිබලයේ ඉන්න යෝසෙප්ගේ කතාවට මම ඔයාව අරන් යන්න කැමතියි.
යෝසෙප්ගේ ජීවිතයේ පෙරළිය
යෝසෙප්ට වයස අවුරුදු දාහතක් වෙද්දී, එයා ලස්සන සිහිනවලින් පිරිණු, තමන්ගේ තාත්තාගේ වැඩියෙන්ම ආදරය ලබපු පුතා විදිහට සතුටින් හිටපු කෙනෙක්. ඒත් එක අමානුෂික මොහොතකින් හැමදේම වෙනස් වුණා. එයාගේම සහෝදරයෝ එයාව වික්කා. එයාව වහලෙක් විදිහට ඊජිප්තුවට අරන් ගියා. තමන්ගේ ගෙදරින් වෙන් කරලා, එයාගේ ජීවිතය ගැන තිබුණු හැම සැලසුමක්ම එයාගෙන් උදුරාගත්තා.
“දෙවියන්වහන්ස, ඔබවහන්සේ කොහෙද ඉන්නේ?” කියලා අහන්න කාටහරි හේතු තිබුණා නම්, ඒ වෙන කාටවත් නෙවෙයි යෝසෙප්ටයි!
ඒත් ඒක එයාගේ සිහිනයේ අවසානය නෙවෙයි!
ඇත්තටම ඒක දෙවියන්වහන්සේ එයා වෙනුවෙන් තබා තිබුණු මහා සැලසුම සහ අනාගතය දෙසට එයාව අරන් යන්න, දෙවියන්වහන්සේම එකිනෙකට පියවරෙන් පියවර සැකසූ (Divinely Orchestrated) සිදුවීම් මාලාවක පළමු පියවරයි!
පොතිෆර්ට එයාව විකුණපු නිසා, යෝසෙප්ට ඉන්න ඕනෙම වුණු නියම ගෙදරට එයාව ලැබුණා. පොතිෆර්ගේ බිරිඳ කරපු බොරු චෝදනාව නිසා එයාව හිරගෙදරට දැම්මත්, අනාගතයේ දවසක ඵාරාවෝ රජ්ජුරුවෝ ඉස්සරහට ගිහින් “හිරගෙදර අපිත් එක්ක හෙබ්රෙව් තරුණයෙක් හිටියා…” (උත්පත්ති 41:12) කියලා කියන්න ඉන්න පාන භාරකාරයා ළඟින්ම යෝසෙප්ව තියන්න ඒක හේතු වුණා.
වැසුණු හැම දොරක්ම යෝසෙප් කවදාවත් සැලසුම් නොකරපු හමුවීමක් (Appointment). ඒත් ඒ හැමදේම, මුල සිටම එයා දෙස බලා සිටි එයාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ විසින් හරිම ආදරයෙන් ක්රියාත්මක කරපු දේවල්!
“දෙවියන්වහන්සේ ඒක යහපතට ඇරවූසේක”
අවුරුදු ගාණකට පස්සේ, එයාව පාවා දීපු ඒ සහෝදරයන්ම එයා ඉස්සරහ බයෙන් වෙවුලමින් සිටිද්දී, යෝසෙප් “ඔයාලා මගේ ජීවිතය විනාශ කළා” කියලා කිව්වේ නැහැ.
එයා කිව්වේ ස්වාමීන්වහන්සේව ඇත්තටම අඳුනන මනුස්සයෙකුට විතරක් කියන්න පුළුවන් දෙයක්:
“නුඹලා මට විපත්තියක් කරන්න සිතුවහුය; නමුත් දෙවියන්වහන්සේ බොහෝ සෙනඟක් ජීවත් කරවන පිණිස ඒක යහපතට ඇරවූසේක.”
— උත්පත්ති 50:20
අද ඔයාගේ ජීවිතයේ ඔයා මොන වගේ කණගාටුවක් / කළකිරීමක් හරහා ගියත්, ස්වාමීන්වහන්සේ ඔයාව විශේෂ සැලසුමකට (Divine Appointment) සූදානම් කරමින් සිටිනවා කියලා ඇදහිල්ලෙන් විශ්වාස කරන්න මම ඔයාව ධෛර්යමත් කරනවා!
- නොලැබී ගිය ඒ රක්ෂාව… සමහරවිට ඔයාගේ ශක්තිය හෙමින් සැරේ උරාබොන පරිසරයකින් ඔයාව බේරාගන්න දෙවියන්වහන්සේ දැකපු නිසා වෙන්න ඇති.
- හරිම සාර්ථකයි කියලා හිතුණු ඒ පාර… සමහරවිට ඒකෙන් ඔයාගේ හදවතේ සමාදානය නැතිවෙනවා කියලා දෙවියන්වහන්සේ දැන සිටි නිසා වෙන්න ඇති.
- නතර වුණු ඒ සම්බන්ධතාවය… ඔයාට තාම පෙනෙන්නේ නැති විදිහට ඔයාගේ හදවත කඩාදමන පාරක ඔයා තව දුරටත් යනවා දකින්න බැරි තරම් දෙවියන්වහන්සේ ඔයාට ආදරේ කරපු නිසා වෙන්න ඇති.
- මඟහැරුණු ඒ අවස්ථාව… ඊට වඩා හුඟක් යහපත් වුණු දොරවල් ඉදිරියට ඇරෙන්න තියෙනවා කියලා දෙවියන්වහන්සේ දැන සිටි නිසා වෙන්න ඇති.
උන්වහන්සේ ආරක්ෂා කරන්නේ කුමකින්ද?
අපේ ස්වර්ගීය පියාණන්වහන්සේ කියන්නේ අපෙන් යහපත් දේවල් හංඟන පියෙක් නෙවෙයි. උන්වහන්සේ ප්රඥාවන්ත, ත්යාගශීලී, සහ හරිම ආදරණීය පියෙක්! තව අවුරුදු ගාණකින් ඔයාගේ ජීවිතය තියෙන තැන උන්වහන්සේ දකිනවා. උන්වහන්සේ නිර්මාණය කරන ඔයාගේ අනාගත ස්වරූපය උන්වහන්සේ දකිනවා. අන්තිමේදී ඔයා එතැනට යද්දී ඔයාට ඇත්තටම ආශීර්වාදයක් වෙන්නේ මොකක්ද කියලා උන්වහන්සේ දකිනවා.
අන්න ඒ නිසයි, සමහර වෙලාවට උන්වහන්සේගේ ආදරණීයම උත්තරය වෙන්නේ: “නෑ, ඒක නෙවෙයි. මට ඊට වඩා හොඳ දෙයක් තියෙනවා” කියන එක!
ඉතින් “ස්වාමීනි, ඇයි ඔබවහන්සේ මට මෙහෙම වෙන්න ඉඩදුන්නේ?” කියලා අහනවා වෙනුවට, මෙන්න මෙහෙම අහන්න මම ඔයාට ආරාධනා කරන්නද?
“ස්වාමීනි, ඔබවහන්සේ මාව ආරක්ෂා කරන්නේ කුමකින්ද? ඔබවහන්සේ මාව සූදානම් කරන්නේ කුමකටද?”
වැසුණු ඒ දොර, ඇත්තටම ඔයාට හානි කරන්න තිබුණු දෙයකින් ඔයාව ආරක්ෂා කරපු එකක් වෙන්න පුළුවන්.
ඒ වගේම ඒ ප්රමාදය? නියම මිනිස්සුන්ව, නියම වේලාව, සහ නියම සැපයුම ඔයාගේ යහපත උදෙසා එකතු කරන්න ස්වාමීන්වහන්සේ පාවිච්චි කරන කාලය ඒක වෙන්න පුළුවන්!
ඔයාගේ අනාගතය සුරක්ෂිතයි
ඔයාව අමතක වෙලා නැහැ, අයින් කරලා නැහැ. ඔයාව නිසි තැන පිහිටුවමින් (Positioning) සිටිනවා!
දැන් ඔයාට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ඔයාගේ හදවත ශක්තිමත් කරගෙන, ඔයා කෙරෙහි තියෙන ඔයාගේ ස්වර්ගීය පියාණන්වහන්සේගේ හදවතේ යහපත්කම විශ්වාස කරද්දී… යම් දවසක ඔයාගේ හදවත බිඳපු ඒ දේ දිහාම ආපසු හැරී බලලා, යෝසෙප් වගේ මෙහෙම කියන්න ඔයාට පුළුවන් වෙයි කියලා මම යාච්ඤා කරනවා: “දෙවියන්වහන්සේ ඒක යහපතට ඇරවූසේක!”
මෙම ලිපිය පූජ්ය ජෝසෆ් ප්රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.


