නරක සෞඛ්ය වාර්තාවක් (Medical report) ලබන්න සිද්ධ වෙන එක කවදාවත් ලේසි දෙයක් නෙවෙයි.
ඔයා නැත්නම් ඔයා ආදරේ කරන කෙනෙක් හරි කවදාහරි දොස්තරගේ කාමරයේ වාඩිවෙලා හිටිහැටියේ නරක ආරංචියක් ඇහුවා නම්, ඒක අපේ මුළු ලෝකයම කොච්චර නම් සොලවා දමනවාද කියලා මම දන්නවා. ඒ මොහොතෙම අපේ මනසට එක එක අදහස්, බිය ගලාගෙන එන්න පටන් ගන්නවා.
- “ඇයි මට මෙහෙම වෙන්නේ?”
- “මේකෙන් මගේ අනාගතයට මොකද වෙන්නේ?”
- “මම ආදරේ කරන අයට මේක කොහොම බලපාවිද?”
අද ඔයා ඉන්නෙත් අන්න ඒ වගේ තැනක නම්, මට ඕනෙ මුලින්ම ඔයාට මේ දේ කියන්නයි: ස්වාමීන්වහන්සේ ඔයාව දකිනවා! උන්වහන්සේ ඔයාගේ බිය, ප්රශ්න, සහ ඇසේ තියෙන කඳුළු පවා දකිනවා. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයා අමාරුවෙන් මවාගත් ධෛර්යයක් පෙන්වයි කියලා හරි, හැමදේම හොඳින් තියෙනවා වගේ රඟපායි කියලා හරි.
ඒත් මේ හැමදේම මැදදී, උන්වහන්සේට ඕනෙ හෙමින් සැරේ ඔයාගේ ඇස් වෙනත් වාර්තාවක් වෙතට යොමු කරන්නයි. වඩා උසස් වාර්තාවක්! ස්වර්ගීය වාර්තාවක්! ඔයා අතේ තියෙන ඒ කොළ කෑල්ලේ ලියවිලා තියෙන ඕනෑම දේකට වඩා ලොකු සහ බලවත් වාර්තාවක්!
ඒ තමයි අපේ ජේසුස් ස්වාමීන්වහන්සේ කුරුසිය මතදී ඔයා වෙනුවෙන් කර අවසන් කරපු දේ පිළිබඳ වෙනස් නොවෙන, සදාතනික වාර්තාව!
යෙසායා අනාගතවක්තෘවරයා කියන දේ බලන්න:
“අපගේ කථාව (වාර්තාව) විශ්වාස කළේ කවුද? ස්වාමීන්වහන්සේගේ බාහුව ප්රකාශ වුණේ කාටද?”
— යෙසායා 53:1
මෙතන “විශ්වාස කළේ” කියන එකට හෙබ්රෙව් භාෂාවෙන් තියෙන වචනය තමයි Aman (අමාන්). ඒක තමයි “ආමෙන්” (Amen) කියන වචනයේ මුල. ඉතින් යෙසායා “අපගේ වාර්තාව විශ්වාස කළේ කවුද?” කියලා අහද්දී, එයා ඇත්තටම අහන්නේ “අපගේ වාර්තාවට ආමෙන් කියන්නේ කවුද?” කියලයි.
ස්වාමීන්වහන්සේ අද ඔයාට කරන්නේ අන්න ඒ ආරාධනාවයි!
උසස්ම සත්යය මත පිහිටන්න
කරුණාකරලා මම මේ කියන දේ පැහැදිලිව තේරුම් ගන්න. දොස්තරලා කියපු දේ විසි කරන්න කියලා මම ඔයාට කියන්නේ නැහැ. දෙවියන්වහන්සේ දොස්තරවරුන් හරහාත් ක්රියා කරනවා. ඉතින් ඔයාගේ ප්රතිකාර සහ දොස්තරලාගේ උපදෙස් දිගටම අනුගමනය කරන්න.
ඒත් මම ඔයාට ආරාධනා කරන්නේ මෙන්න මේ දේ කරන්නයි: ඇදහිල්ලෙන් වඩා උසස් සත්යයක් අල්ලාගන්න! දෙවියන්වහන්සේගේ වාර්තාව සමඟ එකඟ වෙන්න!
ඔයාට දැනෙන ඒ අසනීපය හෝ අසනීප ලක්ෂණ ස්වාභාවිකව ඇත්තක් (True) වෙන්න පුළුවන්. ඒත් ඒක සත්යය (The Truth) නෙවෙයි!
දෙවියන්වහන්සේගේ වචනය තමයි සත්යය! සත්යය හැමවෙලාවෙම ස්වාභාවිකව පෙනෙන ඇත්ත පරාජය කරනවා.
පිටතින් පෙනෙන දේ මොකක් වුණත්, ඔයා ස්වාමීන්වහන්සේගේ වාර්තාවට “ආමෙන්” කියද්දී, ඔයා එකඟ වෙන්නේ උන්වහන්සේගේ වචනයේ තියෙන සත්යයටයි. සුවය ගලාගෙන එන්න පටන් ගන්නේ අන්න එතකොටයි! යෙසායා කියනවා වගේ “ස්වාමීන්වහන්සේගේ බාහුව ප්රකාශ වෙන්නේ” අන්න එතකොටයි!
මම ඒ පින්තූරයට හරිම ආසයි! ඒක හරියට ස්වාමීන්වහන්සේ තමන්ගේ අත් අත්ල උඩට නමාගෙන, ඔයා වෙනුවෙන් ක්රියා කරන්න, ඔයාගේ ප්රශ්නය ඇතුළේ අතිස්වාභාවික බලයෙන් වැඩ කරන්න ලෑස්ති වෙනවා වගේ දෙයක්!
උන්වහන්සේ ඔයා වෙනුවෙන් ඉසුලූ බර
ඉතින් උන්වහන්සේ ඔයාගෙන් විශ්වාස කරන්න කියලා ඉල්ලන ඒ වාර්තාව මොකක්ද?
යෙසායා ඒක පැහැදිලි නැතුව තියන්නේ නැහැ. ඊට පද කිහිපයකට පස්සේ එයා මෙහෙම කියනවා:
“සැබවින්ම උන්වහන්සේ අපගේ ලෙඩ රෝග ඉසුලූසේක, අපගේ දුක් උසුලාගෙන ගියසේක… උන්වහන්සේගේ තැළීම්වලින් අපට සුවය ලැබී තිබේ.”
— යෙසායා 53:4–5
අන්න ඒකයි වාර්තාව! ඔයා අද මුහුණ දෙන ඒ අසනීපය… ඒ වේදනාව, ඒ රෝග විනිශ්චය, ඒ බිය… අපේ ජේසුස් ස්වාමීන්වහන්සේ ඒ වෙනකොටත් උසුලාගෙන ඉවරයි! උන්වහන්සේ ඒක ඔයා වෙනුවෙන් උසුලාගෙන ගියා නම්, ඒකට ඔයාගේ ශරීරයේ තවත් තියෙන්න කිසිම අයිතියක් නැහැ!
ජේසුස් ස්වාමීන්වහන්සේ ආවේ ඔයාව පාපයෙන් බේරාගන්න විතරක් නෙවෙයි. උන්වහන්සේ කළේ ඒක විතරක් නම්, උන්වහන්සේගේ පරිපූර්ණ, පාපයක් නැති ලේ වැගිරීම විතරක් ප්රමාණවත් වෙන්න තිබුණා. ඒත් උන්වහන්සේ වින්ද ඒ වේදනාව ලේ වැගිරීමටත් වඩා හුඟක් දුර ගියා.
පැයෙන් පැය, උන්වහන්සේ දරාගන්න බැරි තරම් ලොකු වේදනාවක් වින්දා. උන්වහන්සේගේ පිටේ එක පුංචි හම් කැබැල්ලක්වත් ඉතිරි නොවෙන තරමට උන්වහන්සේට කසයෙන් තැලුවා.
ඇයි ඒ?
මොකද උන්වහන්සේ උසුලාගෙන ගියේ ඔයාගේ පාපය විතරක් නෙවෙයි. උන්වහන්සේ උසුලාගෙන ගියේ ඔයාගේ රෝග, ඔයාගේ වේදනාවන්! උන්වහන්සේ ලබපු හැම කස පහරක්ම ලැබුවේ ඔයාගේ සුවය වෙනුවෙනුයි!
Young’s Literal Translation බයිබල් පරිවර්තනයේ ඒක මෙහෙම ලස්සනට කියනවා: “සැබවින්ම උන්වහන්සේ අපගේ අසනීප උසුලා ගත්සේක, අපගේ වේදනාවන් උසුලාගෙන ගියසේක… උන්වහන්සේගේ තැළීම්වලින් අපට සුවය ලැබී තිබේ.”
උන්වහන්සේ ඔයා වෙනුවෙන් වින්ද දේ අන්න ඒකයි. ඒක අපතේ යන්න දෙන්න එපා!
ඔයාගේ පිළිතුර මොකක්ද?
දැන් ආයෙත් යෙසායා මේ පරිච්ඡේදය පටන් ගත්තු විදිහට යමු. එයා කියන්නේ නැහැ “ඔයාලා අපේ වාර්තාව විශ්වාස කරන්න ඕනෙ” කියලා. එයා අහන්නේ ප්රශ්නයක්: “අපගේ වාර්තාව විශ්වාස කළේ කවුද?”
දෙවියන්වහන්සේ ඒක ඒ විදිහට ප්රශ්නයක් ලෙස තියෙව්වේ යම් අරමුණකටයි. මොකද ඇදහිල්ල කියන්නේ පෞද්ගලික දෙයක්. කාටවත් ඔයා වෙනුවෙන් “ආමෙන්” කියන්න බැහැ. ඔයාමයි ඒක අයිති කරගන්න ඕනෙ!
උන්වහන්සේ අද ඔයාගෙන් හරිම ආදරයෙන්, පෞද්ගලිකව අහනවා:
- “මම ඔයා වෙනුවෙන් කරපු දේ ඔයා විශ්වාස කරනවාද?”
- “මම ඔයාගේ පාප විතරක් නෙවෙයි, ඔයාගේ අසනීපත් උසුලාගෙන ගියා කියලා ඔයා විශ්වාස කරනවාද?”
- “මගේ තැළීම්වලින් ඔයාට සුවය ලැබුණා කියලා ඔයා විශ්වාස කරනවාද?
ඔයා ස්වාභාවිකව පෙනෙන කරුණු (Facts) නැහැයි කියන්න ඕනෙ නැහැ. ඔයා කරන්නේ ඒ කරුණුවලට වඩා ලොකු සත්යයක් මත පිහිටන්න තෝරාගන්න එක විතරයි — ඒ කුරුසිය මත උන්වහන්සේ කර අවසන් කරපු දේ මත!
ඔයාට ලැබුණු ඒ නරක වාර්තාවට අවසාන වචනය කියන්න බැහැ. අවසාන තීරණය තියෙන්නේ ස්වාමීන්වහන්සේ අතෙයි!
ඒ පොරොන්දුව දුන්නු ස්වාමීන්වහන්සේ විශ්වාසවන්තයි. උන්වහන්සේගේ උත්ථාන වීමේ ජීවනය මේ මොහොතේත් ඔයාගේ ශරීරයට සහ ඔයාගේ ප්රශ්නය ඇතුළට ගලාගෙන එමින් පවතිනවා!
මෙම ලිපිය පූජ්ය ජෝසෆ් ප්රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.


