සෞඛ්‍යය සහ පූර්ණත්වය වෙනුවෙන් වූ ස්වර්ගීය බෙදාහැරීමේ ක්‍රමය

නිරෝගීව ඉන්නේ කොහොමද, වැඩි කාලයක් ජීවත් වෙන්නේ කොහොමද කියලා කියන උපදෙස්වලින් අද මුළු ලෝකයම පිරිලා තියෙනවා.

ඔයා යන යන හැමතැනකම අය කියන්නේ, “නිවැරදි කෑම විතරක් කන්න”, “කාබෝහයිඩ්‍රේට් අඩු කරන්න”, “මේවා කන්න එපා, මේවා වැඩිපුර ගන්න…” වගේ දේවල්.

ඒත් මට ඔයාට මේ දේ කියන්න දෙන්න.

ස්වාමීන්වහන්සේ ඔයා වෙනුවෙන් භෝජනයක් සූදානම් කරලා තියෙනවා! ඒක නිකම්ම ඔයාගේ ඇඟ පෝෂණය කරන කෑමක් විතරක් නෙවෙයි, උන්වහන්සේගේ දේවික ජීවනය සහ සෞඛ්‍යය ඔයාගේ මුළු ඇඟ ඇතුළටම කාවදින භෝජනයක්!

මම ඔයාව පළමු පාස්කු උත්සවයේ (First Passover) රාත්‍රිය වෙතට අරන් යන්න කැමතියි. ඒ ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් සෙනඟව අවුරුදු 400 කට වඩා වැඩි කාලයක් තිබුණු වහල්කමින් නිදහස් කරපු රාත්‍රියයි.

පරම්පරා ගණනාවක් තිස්සේ ඉශ්‍රායෙල්වරු හිටියේ හරිම අමානුෂික වහල්කමක. එයාලට ගැහුවා, බඩගින්නේ තිබ්බා, මහන්සි වෙලා වැඩ ගත්තා. එයාලගෙන් ගොඩක් අය කිසිදා සුව නොවුණු තුවාල දරාගෙන, හරිම දුර්වලව, ලෙඩින් හිටියේ. සමහරු මැරෙන්න ඔන්න මෙන්න තත්වයේ හිටියා.

ඒත් ඒ රාත්‍රියේදී, ස්වාමීන්වහන්සේ එයාලට සරල උපදෙසක් දුන්නා. හැම පවුලක්ම බැටළු පැටවෙක් අරගෙන, ගින්නෙන් පුච්චලා, ඒ කෑම අනුභව කරන්න ඕනෙ.

එයාලා ඒක අනුභව කරද්දී… හරිම බලවත් දෙයක් සිද්ධ වුණා!

ඊළඟ උදේ, මුළු ජාතියම — ලක්ෂ 20 ත් 30 ත් අතර සෙනඟක් — ඊජිප්තුවෙන් එළියට බැහැලා ආවා. ගීතාවලිය 105:37 හි මෙහෙම කියනවා: “ගෝත්‍ර අතර කිසිම දුර්වලයෙකු හිටියේ නැත.” එකම එක දුර්වලයෙක්වත් හිටියේ නැහැ! එක ලෙඩෙක්වත් හිටියේ නැහැ! කවුරුවත් අතහැරුණේ නැහැ!

දැන් ඒ ගැන පොඩ්ඩක් හිතන්න: අවුරුදු ගාණක් වහල්කමේ හිටපු, ඇඟපත කඩා වැටිලා හිටපු මුළු ජාතියක්ම, ඊළඟ උදේ එකපාරටම එච්චර ශක්තිමත්ව එළියට ආවේ කොහොමද?

ස්වාභාවිකව බලද්දී ඒක වෙන්න බැරි දෙයක්! ඒත් ඒ රාත්‍රියේ එයාලා ඒ බැටළු පැටවාගේ මස් අනුභව කරද්දී අතිස්වාභාවික දෙයක් සිද්ධ වුණා. දෙවියන්වහන්සේගේ බලය එයාලගේ ශරීර ඇතුළේ ක්‍රියා කරන්න පටන් ගත්තා!

කොඳු ඇට පෙළවල් කෙළින් වුණා. දණහිස් සුව වුණා. ඇස් පැහැදිලි වුණා. සන්ධි ලිහිල් වුණා. කාලයක් තිබුණු අසනීප නැතිවෙලා ගියා! ඊළඟ දවසේ එයාලා ආවේ දුර්වලව හරි අමාරුවෙන් කොර ගහමින් හරි නෙවෙයි… එයාලා ආවේ ඉදිරියට තියෙන ගමනට සූදානම් වුණු ස්වාමින්වහන්සේගේ ශක්තියෙන් පිරිලා!


ක්‍රිස්තුස් වහන්සේ තුළ අපට ලැබුණු සැබෑ භෝජනය

මට ඔයාට පෙන්නන්න ඕනෙ දේ මෙන්න මේකයි: ඒ රාත්‍රියේ එයාලා කෑවේ සැබෑ බැටළු පැටවාණන් වන අපගේ ජේසුස් ස්වාමීන්වහන්සේව පෙන්නුම් කරපු සෙවනැල්ලක් (Shadow) විතරයි!

ඉශ්‍රායෙල් සෙනඟ අත්විඳපු ඒ හැමදේම — ඒ සුවය, ශක්තිය, කිසිම දුර්වලයෙක් නැතිවීමේ හාස්කම — ලැබුණේ පරණ ගිවිසුම යටතේ.

ඉතින් එයාලට ඒක ඇත්ත වුණා නම්, අලුත් ගිවිසුම යටතේ ජීවත් වෙන අපිට ඒක කොච්චර නම් වැඩියෙන් ඇත්ත වෙන්න ඕනෙද?

අද ඔයාටයි මටයි තියෙන්නේ නිකම්ම සෙවනැල්ලක් නෙවෙයි, සැබෑ හිමිකමයි! කුරුසිය මත අප වෙනුවෙන් පූජා වුණු ජේසුස් ස්වාමීන්වහන්සේවම අපිට තියෙනවා! ඔයාගේ ශරීරය සුවපත් වෙන්න, පූර්ණ වෙන්න උන්වහන්සේගේ ශරීරය තැළුණා. ඔයාට උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, සමාදානය, සහ ප්‍රීතිය ඇතුළේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න උන්වහන්සේගේ ලේ වැගිරෙව්වා!

උන්වහන්සේගේ ගිවිසුමේ ආශීර්වාද ලබාගන්න දෙවියන්වහන්සේ අපිට දීලා තියෙන ස්වර්ගීය බෙදාහැරීමේ ක්‍රමය මොකක්ද දන්නවාද?

ඒ තමයි ශුද්ධවූ දිව්‍ය භෝජනය (Holy Communion)!

ඒක නිකම්ම නිකම් චාරිත්‍රයක් නෙවෙයි. නිකම්ම පවත්වන සිරිතක් නෙවෙයි. කල්වාරියේදී උන්වහන්සේ ඔයා වෙනුවෙන් මිලදී ගත්තු දේ ඔයාගේ ජීවිතයට බෙදාදෙන්න ස්වාමීන්වහන්සේ පාවිච්චි කරන බලවත්ම ක්‍රමයක්!

ඒ එළිදරව්ව හදවතේ තියාගෙන ඔයා දිව්‍ය භෝජනය ලබාගන්න හැමවෙලාවකම, ඔයා කරන්නේ ඒ පාස්කු රාත්‍රියේ ඉශ්‍රායෙල්වරු කරපු දේමයි. ඔයා බැටළු පැටවාණන්ගෙන් පෝෂණය වෙනවා! උන්වහන්සේගේ උත්ථාන වීමේ ජීවනය ඔයාගේ ජීවිතයට ලබාගන්නවා!


දිව්‍ය භෝජනය ඇදහිල්ලෙන් ලබාගනිමු

සමහරවිට මේක කියවද්දී, ඔයාගේ ශරීරයේ යම් අසනීපයක් වෙනුවෙන් ඔයා ස්වාමීන්වහන්සේව විශ්වාස කරමින් ඉන්නවා වෙන්න පුළුවන්. හොඳ අතට හැරුණේ නැති සෞඛ්‍ය වාර්තාවක්… නැවත නැවත එන අසනීප ලක්ෂණ… කොච්චර විවේක ගත්තත් යන්නේ නැති මහන්සියක්…

මම ඔයාව ධෛර්යමත් කරන්නද? ඉශ්‍රායෙල්වරු කරපු දේ කරන්න — අපගේ ජේසුස් ස්වාමීන්වහන්සේව අනුභව කරන්න! ඔයාගේ ශරීරය නිරෝගී වෙන්න උන්වහන්සේගේ ශරීරය තැළුණු හැටි, කුරුසියේදී උන්වහන්සේ දිහා බලන්න. උන්වහන්සේ ඔයා වෙනුවෙන් උසුලාගත්තු ඒ බරෙහි පූර්ණත්වය දකින්න. ඊටපස්සේ ඒක සරලවම භාරගන්න!

මම ඔයාට ආරාධනා කරනවා මාත් එක්ක එකතු වෙලා ශුද්ධවූ දිව්‍ය භෝජනය ලබාගන්න. මෙතනින් මොහොතකට නැවතෙන්න. දිව්‍ය භෝජනය සඳහා පාන් (නැත්නම් බිස්කට් කැබැල්ලක්) සහ මිදි යුෂ (නැත්නම් වතුර ටිකක්) ලෑස්ති කරගෙන, ඔයා සූදානම් වූ පසු ආයෙත් මේ මොහොතට එන්න.

ඔයාගේ අතට ඒ පාන් කැබැල්ල ගනිද්දී, ඔයා වෙනුවෙන් තැළුණු ස්වාමීන්වහන්සේගේ ශරීරය දකින්න. ඊටපස්සේ ඔයාගේ හදවතින් උන්වහන්සේට මෙහෙම කියන්න:

“ස්වාමීනි ජේසුස් වහන්ස, මගේ ශරීරය නිරෝගී වෙන්න ඔබවහන්සේගේ ශරීරය තැළුණු නිසා ඔබට ස්තූතියි. ඔබවහන්සේගේ තැළීම්වලින් මට සුවය ලැබී තිබේ. මම මේ පාන් කැබැල්ල අනුභව කරද්දී, ඔබවහන්සේගේ උත්ථාන වීමේ ජීවනය, ශක්තිය, සහ සෞඛ්‍යය මගේ ශරීරයේ හැම කොටසකටම මම භාරගන්නවා!”

දැන් ඒ පාන් කැබැල්ල අනුභව කරන්න.

ඊටපස්සේ ඒ කුසලානය අතට ගන්න. කුරුසියේදී ඔයා වෙනුවෙන් වැගිරුණු උන්වහන්සේගේ වටිනා ලේ දකින්න. උන්වහන්සේට ස්තූති කරන්න:

“ස්වාමීනි ජේසුස් වහන්ස, මාව සදාකාලයටම ධර්මිෂ්ඨ කරන්න වැගිරෙව්වා වූ ඔබවහන්සේගේ වටිනා ලේ උදෙසා ඔබට ස්තූතියි. මම අද ඔබවහන්සේ ඉදිරියේ සම්පූර්ණයෙන්ම කමාව ලැබූ, සම්පූර්ණයෙන්ම පිළිගනු ලැබූ කෙනෙක් ලෙස සිටිනවා. මට ලබාදෙන්න ඔබවහන්සේ මියගිය හැම ආශීර්වාදයක්ම මම මේ මොහොතේ භාරගන්නවා!”

දැන් ඒ කුසලානය පානය කරන්න.

මෙන්න මේ දේ තේරුම් ගන්න: මේ එළිදරව්ව හදවතේ තියාගෙන ඔයා වැඩි වැඩියෙන් දිව්‍ය භෝජනය ලබාගන්න තරමට — අපගේ ජේසුස් ස්වාමීන්වහන්සේව සහ උන්වහන්සේ කර අවසන් කරපු දේ ඔයා දකින තරමට — ඔයා වැඩි වැඩියෙන් සෞඛ්‍යය සහ පූර්ණත්වය ඇතුළේ ගමන් කරයි!

ඔයා තාමත් ඔයාගේ ජයග්‍රහණය වෙනුවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා වුණත්, අතහරින්න එපා!

දිගටම ජේසුස් ස්වාමීන්වහන්සේ වෙතට එන්න. උන්වහන්සේ ඔයා වෙනුවෙන් ගෙවපු හැමදේම ලබාගන්න.

කුරුසියේදී ගෙවපු හැම ආශීර්වාදයක්ම ඔයාට ලැබෙන්න උන්වහන්සේ තමන්ගේ සියල්ලම දුන්නා. ඉතින් ඒ ගිවිසුමේ භෝජනය ලබාගන්න හැමවෙලාවකම, ඔයාට පුළුවන් උන්වහන්සේව සිහි කරමින් ඒ දේ කරන්න!


මෙම ලිපිය පූජ්‍ය ජෝසෆ් ප්‍රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.