ඔයාගේ සඵලත්වය උදෙසා ඊජිප්තුවට යන්න එපා

ඔයාගේ අනාගතය, රක්ෂාව, නැත්නම් මුදල් හදල් සාර්ථක වෙනවා සහ සඵල වෙනවා දකින්න ඕනෙ වුණාම… ඔයා නිරායාසයෙන්ම යොමු වෙන්නේ කොතැනටද?

ඒක හිතලා බලන්න වටින ප්‍රශ්නයක්. මොකද ඒ ප්‍රශ්නයට ඔයා දෙන උත්තරය ඔයා කරන හැමදේම — ඔයා වැඩ කරන විදිහ, සැලසුම් කරන විදිහ, සහ ගන්න තීරණ — වෙනස් කරනවා.

ඔයාගේ මනස එකපාරටම යන්නේ ඊළඟට කරන්න ඕනෙ දේ වෙතටද? තවත් මහන්සි වෙලා වැඩ කරන්නේ කොහොමද, හොඳින් සැලසුම් කරන්නේ කොහොමද, ආයෝජනය කරන්න පටන් ගන්නේ කොහොමද, සහ අනාගතයේ එන අභියෝගවලට කලින් සූදානම් වෙන්නේ කොහොමද කියන එකටද?

සමහරවිට ඒක මුදල් ගැන විතරක් නෙවෙයි වෙන්න පුළුවන්. සඵල වෙනවා දකින්න ඕනෙ ඔයාගේ සෞඛ්‍යය, සම්බන්ධතා, නැත්නම් පවුල වෙන්න පුළුවන්. ඉතින් ඒ හැමදේම විසඳගන්න, තදින් තල්ලු කරන්න, සහ දේවල් සිද්ධ කරගන්න ඕනෙ තමන්මයි කියන ලොකු බරක් ඔයාගේ හිතට දැනෙනවා ඇති.

ඔයාගේ සඵලත්වය (Prosperity) ගැන කතා කරද්දී, උන්වහන්සේගේ දරුවෙකු ලෙස ඔයා ඊජිප්තුවට යනවා දකින්න දෙවියන්වහන්සේගේ හදවත කැමති නැහැ!

මම ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද?

දේශයේ ලොකු සාගතයක් තිබුණු වෙලාවක ස්වාමීන්වහන්සේ ඊසාක්ට කියපු දේ වෙතට මම ඔයාව අරන් යන්න කැමතියි:

“ඊජිප්තුවට නොබැස, මා නුඹට කියන දේශයෙහි වාසය කරන්න. මේ දේශයෙහි වෙසෙන්න, මම නුඹ සමඟ සිට නුඹට ආශීර්වාද කරන්නෙමි; මක්නිසාද නුඹටත් නුඹගේ වංශයටත් මම මේ සියලු දේශයන් දෙන්නෙමි.”
— උත්පත්ති 26:2–3

දැන්, ස්වාභාවිකව බලද්දී ඊජිප්තුවට යන එක තමයි කරන්න තියෙන හරිම තර්කානුකූල දේ ලෙස පෙනෙන්න තිබුණේ. ඊජිප්තුව ප්‍රසිද්ධ වෙලා තිබුණේ ඒකේ තිබුණු සම්පත්, ස්ථාවර භාවය, සහ සැපයුම නිසයි. හිඟකමක් තියෙන කාලයක තමන්ගේ අනාගතය සුරක්ෂිත කරගන්න පුළුවන් හොඳම තැන ලෙස ඊජිප්තුව පෙනෙන්න තිබුණා.

ඒත් දෙවියන්වහන්සේ ඊසාක්ට විශේෂයෙන්ම කිව්වා ඊජිප්තුවට යන්න එපා කියලා!

බයිබලය ඇතුළේ “ඊජිප්තුව” කියන්නේ ලෝකයේ ක්‍රමවේදයන්ගේ පින්තූරයක්. හෙබ්‍රෙව් භාෂාවෙන් “ඊජිප්තුව” කියන වචනයේ තේරුම “තදබද වුණු තැනක්” නැත්නම් පීඩනය සහ කරදර පිරිණු තැනක් කියන එකයි. ඒක ජීවිතයේ හැම පැත්තකදීම අමාරුවෙන් වෙහෙසෙන, සටන් කරන, සහ මනුෂ්‍ය උත්සාහය මතම යැපෙන තැනක්.

ඔයා ඒක ඒ දේශයේ අස්වැන්නෙන් පවා දකිනවා — පිපිඤ්ඤා, කොමඩු, ලූනු, සුදුලූනු — මේ හැමදේම වැවෙන්නේ පොළොවට හරිම ළඟින්. ඒවා නෙලාගන්න නම්, ඔයාට නැමෙන්න, හාරන්න, සහ සූරන්න සිද්ධ වෙනවා. ඒක කොන්ද කැඩෙන තරම් අමාරු වැඩක්!

ඒ වගේම ඒ දේශය ගැන ද්විතීය කථාවේ කියන්නේ ඒකට වතුර දාන්න වුණේ “පාදයෙන්” (Deut. 11:10–11) කියලයි. ජීවත් වෙන්න විතරක් මනුෂ්‍ය මහන්සියෙන් නොකඩවා වතුර අදින්න සිද්ධ වුණා. තමන්ගේම ශක්තියෙන් අමාරුවෙන් මහන්සි වෙන එකේ පින්තූරය අන්න ඒකයි. තවත් අමාරුවෙන් වැඩ කිරීම, තවත් දුවීම, මොන දේ නැතිවුණත් කමක් නෑ කියලා දේවල් කරගන්න හැදීම…

ඊජිප්තුව කියන්නේ අන්න ඒකටයි! ඔයා ඒ විදිහට බියෙන්, කලබලයෙන්, සහ අසහනයෙන් ජීවත් වෙනවා දකින්න ඔයාගේ ස්වර්ගීය පියාණන්වහන්සේගේ හදවත කවදාවත් කැමති නැහැ!


පොරොන්දු දේශයේ සඵලත්වය

ඒත් පොරොන්දු දේශයේදී දේවල් වෙනස්!

ඒක දෙළුම්, සහ ඔලීව ගස්වලින් පිරුණු දේශයක්. මේවා උසින් වැවෙන ගස්, ඉතින් ඔයාට ලේසියෙන්ම අත දිගු කරලා ඒවා කඩාගන්න පුළුවන්. එක මිදි පොකුරක් උස්සන් යන්න මිනිස්සු දෙන්නෙක් ඕනෙ වුණා (ගණන් කථාව 13:23)!

ඒ වගේම පොරොන්දු දේශයට වතුර ලැබුණේ මනුෂ්‍ය මහන්සියෙන් නෙවෙයි, ස්වර්ගයෙන්! (ද්විතීය කථාව 11:11). පොරොන්දු දේශයේ තිබුණු හැමදේම ඉශ්‍රායෙල් සෙනඟට ආරාධනා කළේ ඇස් ඉහළට උස්සලා ස්වාමීන්වහන්සේ දෙස බලන්නත්, උන්වහන්සේගේ සැපයුම ඇතුළේ විවේකීව ඉන්නත් පමණයි!

සැබෑ බයිබලානුකූල සඵලත්වය (True Bible Prosperity) කියන්නේ අන්න ඒකටයි!

සැබෑ සඵලත්වය කියන්නේ ලෝකය දෙන සඵලත්වය වගේ එකක් නෙවෙයි. ඒක ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන තෑග්ගක්! ඒක ගලාගෙන එන්නේ උන්වහන්සේගෙන්, ඔයා ඇතුළේ ක්‍රියා කරන ශුද්ධාත්මයාණන් වහන්සේ හරහායි. උන්වහන්සේ ඔයාට සපයනවා, මනුෂ්‍ය උත්සාහයෙන් කවදාවත් අරින්න බැරි දොරවල් උන්වහන්සේ ඇරලා දෙනවා!

ඒක නිකම්ම මුදල්වලට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. දෙවියන්වහන්සේගේ ආශාව තමයි ඔයාගේ මනසේ සහ හැඟීම්වල නිරෝගීබව, මුදල් හදල්, ශාරීරික සෞඛ්‍යය, සහ සම්බන්ධතා ඇතුළු ඔයාගේ ජීවිතයේ හැම පැත්තක්ම සඵල වෙනවා දකින එක. උන්වහන්සේ ඔයාව සඵල කරද්දී, ඒ ආශීර්වාද ඔයා ළඟ විතරක් නතර වෙන්නේ නැහැ. ඒවා පිටාර ගලලා යනවා — එවිට ඔයාට පුළුවන් ඔයා වටේ ඉන්න අයටත් ලොකු ආශීර්වාදයක් වෙන්න!


උන්වහන්සේගෙන් “සලාක්” (Tsalach) ඉල්ලන්න

ඉතින් අපි “ඊජිප්තුවට යන්න” ඕනෙ නැත්නම්, අපි යන්න ඕනෙ කොතැනටද?

ඔයාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දෙස බලන්න. ඔයා කෙරෙහි තියෙන උන්වහන්සේගේ හදවත විශ්වාස කරන්න.

ඊටපස්සේ, ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්න, ඔයා ගැන නොකඩවා සොයා බලන, ඔයාට ඕනෙ හැමදේටම වඩා ප්‍රමාණවත් තරම් දේවල් තියෙන ආදරණීය පියෙක් ළඟට දුවගෙන යන පුංචි දරුවෙක් වගේ, යාච්ඤාවෙන් උන්වහන්සේගෙන් ඉල්ලන්න!

3 යොහන් 1:2 හි මෙහෙම කියනවා:

“ප්‍රේමවන්තයෙනි, නුඹගේ ආත්මය සඵල වන්නාක් මෙන්ම, සියලු දේවලදී නුඹ සඵල වන්ටත් නිරෝගීව සිටින්ටත් මම යාච්ඤා කරමි.”
— 3 යොහන් 1:2

අද ඔයා යාච්ඤා කරන්න ඕනෙ එක දෙයක් තියෙනවා නම්, මම ඔයාව ධෛර්යමත් කරන්නේ මෙන්න මේ දේ වෙනුවෙන් යාච්ඤා කරන්නයි.

බයිබලය පුරාම “සඵල වෙනවා” කියන එකට යොදලා තියෙන හෙබ්‍රෙව් වචනය තමයි Tsalach (සලාක්). ඒක මනුෂ්‍ය ජයග්‍රහණයක් හරි මූල්‍යමය ක්‍රමවේදයක් හරි නෙවෙයි. ඒකෙන් විස්තර කරන්නේ මනුෂ්‍යයෙකු කෙරෙහි පැමිණ, එයාව සඵල කරවන දෙවියන්වහන්සේගේ බලයයි! ඒක ශුද්ධාත්මයාණන් වහන්සේට සහ ස්වාමීන්වහන්සේගේ සන්නිධානයට තදින්ම බද්ධ වෙලා තියෙනවා.

  • යෝසෙප් පොතිෆර්ගේ ගෙදර වහලෙක් ලෙස ඉද්දී, හැම තත්වයක්ම එයාට විරුද්ධව තියෙද්දී එයා කෙරෙහි ආවේ ඒ සලාක් (Tsalach) කියන අභිෂේකයයි! උත්පත්ති 39:2 හි සරලව මෙහෙම කියනවා: “ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ සිටිසේක, ඔහු සඵල වූ මනුෂ්‍යයෙක් විය.”
  • සිම්සොන් කෙරෙහි ස්වාමීන්වහන්සේගේ ආත්මය පැමිණ, තමන්ගේ ප්‍රශ්න ජයගන්න ස්වාභාවික ශක්තියට වඩා වැඩි බලයක් ලැබුණේ ඒ සලාක් (Tsalach) නිසයි!
  • සාමුවෙල් දාවිත්ව රජකමට අභිෂේක කරද්දී දාවිත් කෙරෙහි ආවේ ඒ සලාක් (Tsalach) අභිෂේකයයි! ස්වාමීන්වහන්සේගේ ආත්මය දාවිත් කෙරෙහි සිටි නිසා, ගොලියත් එයාට වඩා ශක්තිමත්, අත්දැකීම් තියෙන, හොඳ ආයුධ තියෙන කෙනෙක් වුණත්, දාවිත්ට පුළුවන් වුණා ගොලියත්ව බිම හෙළන්න!

සැබෑ බයිබලානුකූල සඵලත්වය කියන්නේ අන්න ඒකටයි! දෙවියන්වහන්සේගේ බලය සහ සන්නිධානය ඔයාගේ ජීවිතය කෙරෙහි පැමිණීම… ඔයාගේ රක්ෂාවට, පවුලට, සෞඛ්‍යයට, සම්බන්ධතාවලට පැමිණීම… ඔයාගේම ශක්තියට හෝ දක්ෂතාවයට වඩා වැඩි යමක් කරමින් ඔයාව සඵල කරවීම!


ස්වර්ගීය පියාණන් වෙතට දුවන්න

ඉතින් අද, සලාක් (Tsalach) වෙනුවෙන් යාච්ඤා කරන්න ධෛර්යමත් වෙන්න!

ශුද්ධාත්මයාණන් වහන්සේට ආරාධනා කරන්න ඔයා කෙරෙහි බලවත්ව පැමිණෙන්න කියලා. යෝසෙප්, දාවිත්, සහ සිම්සොන් සමඟ සිටියා වගේ ඔයා සමඟත් සිටින්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලන්න. ඔයා කරන හැමදේම හරිම උනන්දුවෙන් සහ විශිෂ්ට ලෙස කරන්න, ඒත් ඔයාව සඵල කරන්න ස්වාමීන්වහන්සේ දෙස බලන්න!

ඔයාගේම ශක්තියෙන් හැමදේම සිද්ධ කරගන්න ඕනෙ කියන ඒ ලොකු පීඩනය උසුලන්න ඔයාට ඕනෙ නැහැ. ඔයා ගැන බලන්න උන්වහන්සේ ආසයි කියලා දැනගෙන, ඔයාගේ වුවමනාවන්, ආශාවන්, සහ බියවල් ඔයාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ ඉදිරියට බිය නැතුව ගෙනෙන්න පුළුවන්. ඒක ඔයාට උදම් අනන්න නෙවෙයි, ඔයාගේ ජීවිතය ඔයා වටේ ඉන්න අයට උන්වහන්සේගේ යහපත්කමේ සාක්ෂියක් වෙන්නයි!

ඊජිප්තුවට යන්න එපා! ඒ වෙනුවට ඔයාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ වෙතට දුවන්න!


මෙම ලිපිය පූජ්‍ය ජෝසෆ් ප්‍රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.