සාර්ථකත්වය පිළිබඳ ඔයාගේ දැක්ම මේ වචන පහෙන් නැවත සකස් කරගන්න

මම ඔයාගෙන් මේ වැදගත් ප්‍රශ්නය අහන්න කැමතියි: සාර්ථකත්වය (Success) කියන්නේ ඔයාට මොකක්ද?

මේක වැදගත් වෙන්නේ ඇයි? මොකද ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ව, සාර්ථකත්වය කියන්නේ මොකක්ද කියලා ඔයා අර්ථකථනය කරගන්න විදිහ අනුව තමයි ඔයාගේ මුළු ජීවන රටාවම තීරණය වෙන්නේ. ඔයා තීරණ ගන්න විදිහ, ඔයාගේ කාලය සහ ශක්තිය යොදවන දේවල්, සහ ඔයා ලුහුබඳින්න තෝරාගන්න දේවල් පාලනය කරන්නේ අන්න ඒ අර්ථකථනය විසින්මයි.

සමහරවිට ඔයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා ඇති… ලොකු සටනක් දෙමින්, තල්ලු කරමින්, ඊට වඩා හොඳ ජීවිතයක් ගොඩනඟාගන්න උත්සාහ කරනවා ඇති. ඒක වැරදි නැහැ. මොකද අපි හැමෝම ආසයි අපේ පවුල් ගැන හොඳින් හොයා බලන්න, අපි කරන දේවල් සාර්ථකව කරන්න.

ඒත් මාත් එක්ක පොඩ්ඩක් මෙතන නැවතෙන්න. මොහොතකට නැවතිලා ඔයාගෙන්ම මෙහෙම අහගන්න: “ඇත්තටම මගේ හිත ඇතුළෙන් මට සෑහීමක් දැනෙනවාද?”

ගොඩක් වෙලාවට ඒ හැම දුවගැන්මක්ම, හැම ලුහුබැඳීමක්ම මැදදී, අපි උසුලන්න අදහස් නොකළ ලොකු බරවල් අපේ කරපිට පටවාගන්නවා. මානසික පීඩනය, අසහනය හෙමින් සැරේ ඇතුළට එනවා. අපේ සෞඛ්‍යය පිරිහෙන්න පටන් ගන්නවා. අන්තිමේදී ආශීර්වාදය අපේ ඇස් ඉස්සරහම තියෙද්දී පවා — අපේ පවුල, අපි ආදරේ කරන අය අපේ ළඟ ඉද්දී පවා — එයාලා එක්ක සතුටින් ඉන්න බැරි තරමට අපි වෙහෙසට පත්වෙලා!

දැන්, දෙවියන්වහන්සේ අද ඔයාට කියන්න කියලා මගේ හදවතට දාපු ලස්සන දෙයක් තියෙනවා.

අන්තිමේදී ආපසු හැරී බලද්දී ඒ ඉණිමඟ හේත්තු කරලා තිබුණේ වැරදි බිත්තියකට කියලා තේරුම් ගන්න නම් ඔයාගේ මුළු ජීවිත කාලයම සාර්ථකත්වයේ ඉණිමඟ දිගේ ඉහළටම නගින්න මහන්සි වෙන්න එපා… !


දෙවියන්වහන්සේගේ වචනයට අනුව සැබෑ සාර්ථකත්වය

සැබෑ සාර්ථකත්වය කියන්නේ මොකක්ද කියලා දෙවියන්වහන්සේගේ වචනයෙන් මට ඔයාට හරිම බලවත් දෙයක් පෙන්නන්න දෙන්න.

උත්පත්ති 39:2 හි මෙහෙම කියනවා:

“ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ සිටිසේක, ඔහු සඵල වූ (සාර්ථක වූ) මනුෂ්‍යයෙක් විය.”
— උත්පත්ති 39:2

දැන් ඒ ගැන පොඩ්ඩක් හිතන්න. ඒ වචන කියද්දී, යෝසෙප් හිටියේ තවමත් වහලෙක් විදිහට! නිදහසක් තිබුණේ නැහැ. බලයක් තිබුණේ නැහැ. එයාගේ නමට කියලා කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒත් දෙවියන්වහන්සේ එයාව “සාර්ථක මනුෂ්‍යයෙක්” කියලා හැඳින්වූවා!

ඒක සාර්ථකත්වය ගැන සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථකථනයක්, නේද?

ඔයා තේරුම් ගන්න ඕනෙ දේ මෙන්න මේකයි: සැබෑ සාර්ථකත්වය කියන්නේ ඔයාට තියෙන දේවල් ගැන නෙවෙයි. සැබෑ සාර්ථකත්වය කියන්නේ ඔයා ළඟ ඉන්නේ කවුද කියන එක ගැනයි!

යෝසෙප්ට ස්වාමීන්වහන්සේ එයා සමඟ සිටියා! ඒක හැමදේම වෙනස් කළා.

“ස්වාමීන්වහන්සේ මා සමඟ සිටිනසේක” කියන ඒ සරල සත්‍යය යෝසෙප්ගේ මුළු ජීවිතයම වෙනස් කළා. ඒක වහලෙකුව භාරකාරයෙක් කළා. හිරකාරයෙක්ව කුමාරයෙක් කළා. අන්න ඒ දේම ඔයාගේ ජීවිතයටත් කරන්න උන්වහන්සේට පුළුවන්!


ජේසුස් වහන්සේ ඔයා සමඟ සිටිනවා

ජේසුස් ස්වාමීන්වහන්සේ අද ඔයා සමඟත් ඉන්නවා! මේ මොහොතේම! ජීවිතය ටිකක් අවුල් වෙලා, අසම්පූර්ණයි වගේ දැනුණත් උන්වහන්සේ ඔයා ළඟම ඉන්නවා.

උන්වහන්සේගේ අභිමුඛය ඔයාට තියෙද්දී, උන්වහන්සේගේ සමාදානය, උන්වහන්සේගේ ප්‍රඥාව, සහ උන්වහන්සේගේ අනුග්‍රහය ඔයාට තියෙනවා. ඒක මේ ලෝකයට කවදාවත් දෙන්න බැරි විදිහේ සැබෑ සාර්ථකත්වයක්!

ඉතින් මම ආයෙත් ඔයාගෙන් අහන්නද: ඔයා ඇත්තටම ලුහුබඳින්නේ මොනවාද? ඒ පාරේ යද්දී ඔයා කෙබඳු කෙනෙක් බවට පත්වෙනවාද?

අද දවස කියන්නේ ආයෙත් ඔයාගේ ඇස් ජේසුස් ස්වාමීන්වහන්සේ දෙසට යොමු කරන්න හොඳම වෙලාව වෙන්න පුළුවන්. ලෝකය කියන සාර්ථකත්වය දිහා නෙවෙයි, මේ මොහොතේ ඔයා ළඟින්ම ගමන් කරන උන්වහන්සේ දිහා බලන්න.


අද සිට මේ දේ ප්‍රකාශ කරන්න

ඉතින්, අද සහ මේ මුළු සතිය පුරාම ඔයා කරන්න ඕනෙ සරල දෙයක් මම ඔයාට කියන්නම්. ඔයා ගැනම මෙන්න මේ දේ ප්‍රකාශ කරගන්න:

“ස්වාමීන්වහන්සේ මා සමඟ සිටිනසේක!”

උදේට ඒක ප්‍රකාශ කරන්න. දවසේ වැඩ කටයුතු කරගෙන යද්දී කටහඬින් හෙමින් සැරේ ඒක කියන්න. රෑට නිදාගන්න කලින් ඔයාගේ තොල්වල තියෙන අවසාන වචන ටික ඒක වෙන්න ඉඩදෙන්න.

ඔයා ඒක කියන හැමවෙලාවකම, උන්වහන්සේගේ අභිමුඛය අන්න එතන ඔයා ළඟම තියෙනවා කියලා සිහියේ තියාගන්න.

මතක තියාගන්න, උන්වහන්සේ ඔයා සමඟ සිටින නිසා… ඔයාට ඒ වෙනකොටත් සැබෑ සාර්ථකත්වය හිමිවෙලා ඉවරයි!


මෙම ලිපිය පූජ්‍ය ජෝසෆ් ප්‍රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.