සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව
අද ඔයා දෙවියන්වහන්සේගේ වචනය කියවන්නේ කොහොමද?
ඒක ඔයාගේ දිනපතා යාච්ඤා වේලාවේ (Quiet time) ලැයිස්තුවෙන් ටික් එකක් දාලා අයින් කරන දෙයක්ද? නැත්නම් ටිකක් හෙමින් යන්න, ටිකක් වෙලා නතර වෙලා ඉන්න — වචනයට ඔයාගේ හදවතට කතා කරන්න ඉඩදෙන්න ඔයා කාලය ගන්නවාද?
මොකද බයිබලය කියන්නේ වෙනත් කිසිම පොතකට සමාන කරන්න බැරි පොතක්. ඒක කඩදාසි උඩ තියෙන තීන්ත විතරක්ම නෙවෙයි.
ඒක ජීවමානයි. ඒක ක්‍රියාත්මකයි. ඒක තුළ තියෙන්නේ දෙවියන්වහන්සේගේම වචනයි, උන්වහන්සේගේම ජීවනය සහ හුස්මයි ඒක ඇතුළේ තියෙනවා.
අද මට ඔයාට පෙන්වන්න ඕනෙ දෙයක් තියෙනවා: ඔයා වචනය කියවද්දී… වචනයත් ඔයාව කියවමින් සිටිනවා!
හෙබ්‍රෙව් 4:12 හි මෙහෙම කියනවා:
“මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානබලවත්ය, දෙපැත්තම කැපෙන ඕනෑම කඩුවකට වඩා තීක්ෂ්ණය, ආත්මයත් ප්‍රාණයත්… වෙන් වන තුරු විනිවිද යයි, සිතේ කල්පනාද අදහස්ද කොටස් කිරීමට පොළඹවයි.”
— හෙබ්‍රෙව් 4:12
ඔයාට පේනවා නේද, දෙවියන්වහන්සේගේ වචනය ජීවමානයි!
මනුෂ්‍යයෙක් වගේ, ඒක ඔයා සමඟම සිටිනවා. ඒක ඔයාව දකිනවා. ඒක ඔයාට කතා කරනවා. ඒක ඔයාව කියවනවා.
ඇත්තටම, ජේසුස් වහන්සේට කියන්නේ ජීවමාන වචනය කියලායි (යොහන් 1:1, 14).
ඉතින්, ඔයා බයිබලය අදිද්දී, ඔයා නිකම්ම කියවමින් දැනුම එකතු කරගන්නවා විතරක් නෙවෙයි. ඔයා මුණගැහෙන්නේ පෞද්ගලික කෙනෙකුට — උන්වහන්සේගේ ආදරයට, උන්වහන්සේගේ කටහඬට, සහ ඔයා ගැන උන්වහන්සේගේ සිතුවිලිවලටයි.
වචනය කියන්නේ සිතේ කල්පනා සහ අදහස් කොටස් කරන්නා/වෙන් කරන (Discerner) කෙනෙක්. “වෙන් කරනවා” කියන්නේ දේවල් අතර වෙනස හඳුනාගන්නවා කියන එකයි.
ඔයා කියවද්දී, ඒක ඇත්තටම ස්වාමීන්වහන්සේගෙන් එන මඟපෙන්වීමක්ද, නැත්නම් ඔයාගේම මාංසික ආශාවක් හෝ හැඟීමක්ද කියලා හඳුනාගන්න වචනය ඔයාට උදව් කරනවා; අපේම කැමැත්ත මොකක්ද, අප වෙනුවෙන් දෙවියන්වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා වෙන් කරලා පෙන්වන්න වචනයට පුළුවන්.
අපි හැමෝම වර්ධනය වෙන්න ආසා කරන දෙයක් නේද ඒක? තවත් තියුණු වෙන්න, පැහැදිලි වෙන්න, සහ උන්වහන්සේගේ මඟපෙන්වීම් නිවැරදිව තේරුම් ගන්න අපි ආසා නැද්ද?
ඔයාත් ඒක කවදාහරි අත්විඳලා ඇති. ඔයා නිතර අහන හුරුපුරුදු පදයක් කියවනවා — උදාහරණයක් විදිහට, “බිය නොවන්න, මම ඔබ සමඟ සිටිමි” (යෙසායා 41:10) — එකපාරටම ඒ පදය ඔයාගේ ආත්මයටම තදින් වැදෙනවා. ඔයාගේ හිත කොච්චර කනස්සල්ලෙන් හෝ බරකින් ඉඳලා තියෙනවාද කියලා ඔයාට තේරිලා තිබුණෙත් නැහැ… වචනය ඇවිත් ඒකට සමාදානය කතා කරන තුරු!
වචනය ඔයාව කියවනවා කියන්නේ අන්න ඒකටයි.
නැත්නම් ඔයා කියවනවා, “ප්‍රේමය ඉක්මනින් කිපෙන්නේ නැත” (1 කොරින්ති 13:5), ඒ මොහොතේදී ශුද්ධාත්මයාණන් වහන්සේ ඔයාට මතක් කරනවා මීට ටික වෙලාවකට කලින් ඔයා කියපු තියුණු, රළු වචනයක්. වචනය හරහා උන්වහන්සේ හරිම ආදරයෙන් ඔයාව නිවැරදි කරනවා, ඔයාව වරදකරු කරන්නේ නැහැ. උන්වහන්සේ ඔයාව ප්‍රේමයේ උසස් තැනකට කැඳවනවා!
සමහරවිට ඔයාගේ රක්ෂාවේදී නැත්නම් සේවයේදී ඔයා හිටියේ ලොකු මහන්සියකින් සහ කලකිරීමකින් වෙන්න පුළුවන්, ඒ වෙලාවේ ඔයාට මේ වචනය හමුවෙනවා: “මා වෙතට එන්න… මම ඔබට විවේකයක් දෙන්නෙමි” (මතෙව් 11:28). එකපාරටම ශුද්ධාත්මයාණන් වහන්සේ ඔයාට පෙන්නලා දෙනවා ඔයා කොච්චර දුරට ඔයාගේම ශක්තිය මත යැපිලා හිටියාද කියලා, සහ උන්වහන්සේ කොච්චර ආදරයෙන් ඔයාව ආයෙත් තමන්ගේ අනුග්‍රහය වෙතට ඇදගන්නවාද කියලා.
ස්වාමීන්වහන්සේ අපිට කතා කරන ලස්සනම ක්‍රමයක් තමයි මේක.
උන්වහන්සේගේ ජීවමාන වචනය හරහා, උන්වහන්සේට ඔයාට මේ දේ කියන්න පුළුවන්:
- “ඒ අදහස මගෙන් ආපු එකක් නෙවෙයි.”
- “මෙන්න මේ ආශාව — ඒක මම ඔයාට මඟපෙන්වන විදිහයි.”
- “මෙතන ටිකක් ඉඳලා බලාගන්න.”
- “ඒ පියවර තබන්න.”
- “මේ දේ අතහැරලා දාන්න.”
- “ඒක ගැන මාව විශ්වාස කරන්න.”
ස්වාමීන්වහන්සේ තමන්ගේ වචනය පාවිච්චි කරන්නේ ස්වර්ගයේ ප්‍රඥාව ඔයාගේ එදිනෙදා ජීවිතයට ගෙනැවිත් දෙන්නයි.
වචනයට ඔයාව කියවන්න ඉඩදෙන්න
ඉතින්, අද දවසේ ඒක ඉක්මනින් කියවලා ඉවර කරන්න යන්න එපා. හෙමින් යන්න. ඔයා කියවන ඒ පිටුවට සහ පදවලට ශුද්ධාත්මයාණන් වහන්සේගේ හුස්ම ලබන්න ඉඩදෙන්න. උන්වහන්සේගෙන් අහන්න: “ස්වාමීනි, ඔබවහන්සේ මෙතනින් මට කියන්නේ මොකක්ද?” කියල.
වචනයට ඔයාව කියවන්න ඉඩදෙන්න. මතුපිටින් තියෙන දේවල්වලින් එහාට ගිහින්, ඝෝෂාවෙන් ඈත් වෙලා, ගැඹුරටම යන්න වචනයට ඉඩදෙන්න.
ස්වාමීන්වහන්සේ ඉදිරියට ගෙනෙන්න ඕනෙ මොනවාද කියලා එළිදරව් කරන්න වචනයට ඉඩදෙන්න — එවිට උන්වහන්සේට පුළුවන් ඔයාව තමන්ගේ ආදරයෙන් සෝදාහරින්න, සහ උන්වහන්සේගේ ප්‍රඥාවෙන් සහ සමාදානයෙන් ඔයාව ඉදිරියට ගෙන යන්න!
මෙම ලිපිය පූජ්‍ය ජෝසෆ් ප්‍රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.


