ශුද්ධකම ඔයාව තවත් තියුණු කරවයි

අද අපි පටන් ගන්න කලින්, මේ සත්‍යය හරිම පැහැදිලිව ඔයාගේ හදවතට දාගන්නවා දකින්න මට ඕනෙ:

ජේසුස් වහන්සේගේ නිමකළ කාර්යය නිසා, ඔයා ඒ වෙනකොටත් ධර්මිෂ්ඨයෙක් — කිසිම සැකයකින් තොරව, ආපසු හැරවිය නොහැකි ලෙස ඔයා ධර්මිෂ්ඨයි! අද ඔයා ස්වාමීන්වහන්සේ ඉදිරියේ සම්පූර්ණයෙන්ම පිළිගනු ලැබූ කෙනෙක්.

දැන්, මට ඔයා එක්ක බෙදාගන්න ඕනෙ හරිම වැදගත් දෙයක් තියෙනවා.

ධර්මිෂ්ඨකම (Righteousness) කියන්නේ අපිට නොමිලේ ලැබෙන තෑග්ගක් වුණත්, ශුද්ධකම (Holiness) කියන්නේ අපි වර්ධනය වෙන දෙයක්!

ඒක පෙනෙන්න තියෙන්නේ අපේ චරිතය ඇතුළෙයි. අපි අනිත් අයට සලකන විදිහෙන්. අපි පාපයෙන් ඉවත් වෙලා, ක්‍රිස්තුස් වහන්සේ තුළ අපි කවුද කියන එකට නොගැළපෙන දේවල්වලට “බැහැ” කියන විදිහෙන් ඒක දකින්න පුළුවන්.

මම නැවත නැවතත් දැකලා තියෙන දෙයක් ඔයා දන්නවාද? කෙනෙක් පරීක්ෂාවකට “බැහැ” කියලා ස්වාමීන්වහන්සේට ගෞරව කරන්න තෝරාගන්න හුඟක් වෙලාවට, අනිත් පැත්තෙන් එයා වෙනුවෙන් උසස්වීමක් (Promotion) බලාගෙන ඉන්නවා!

යෝසෙප්ගේ කතාව දිහා පොඩ්ඩක් බලන්න.

යෝසෙප්ට හැමවෙලේම සිහින දකින දීමනාව තිබුණා. උත්පත්ති 37 හි අපි දකිනවා පුංචි කොල්ලෙක් විදිහට ඉද්දී පවා එයාට සිහින හරහා අනාගතවැකිමය දර්ශන ලැබුණු හැටි. ඒත් ඔයා එක දෙයක් නිරීක්ෂණය කළාද? එයාට සිහින දකින්න පුළුවන් වුණත්, ඒ සිහිනවල තේරුම පහදන්න පුළුවන්කමක් තිබුණේ නැහැ… තවම නැහැ.

ඉතින් එයාට සිහින තෝරා දීමේ දීමනාව ලැබුණේ කවදාද?

ඒ යෝසෙප් තමන්ගේ ජීවිතයේ දරුණුතම පරීක්ෂාවකට මුහුණ දීලා, ඒකට යටත් නොවී ජයගත්තාට පස්සෙයි!


පරීක්ෂාවට “බැහැ” කී යෝසෙප්

උත්පත්ති 39:7 හි කියනවා පොතිෆර්ගේ භාර්යාව යෝසෙප් කෙරෙහි ලොකු ආශාවක් ඇති කරගත්තා කියලා. දවසින් දවස ඇය එයාව තමන් එක්ක පාපයට පොළඹවාගන්න උත්සාහ කළා.

දැන් අපි ඇත්ත කතා කරමු. පොතිෆර් කියන්නේ ඊජිප්තුවේ හිටපු බලවත් මනුස්සයෙක්. එයාට සාමාන්‍ය, ආකර්ෂණීය නොවන බිරිඳක් හිටියා වෙන්න බැහැ. මේක හරිම සැබෑ, තදබල පරීක්ෂාවක්. කවුරුවත් දැනගන්නේ නැහැ. එයාට ඕනෙ නම් ඒකට යටත් වෙන්න තිබුණා.

ඒත් එයා එහෙම කළේ නැහැ! ඒ වෙනුවට යෝසෙප් තෝරාගත්තේ ශුද්ධකමයි. එයා තෝරාගත්තේ ස්වාමීන්වහන්සේවයි!

එයා මෙහෙම කිව්වා:

“මම කෙසේ මේ මහත් දුෂ්ටකම කොට දෙවියන්වහන්සේට විරුද්ධව පව් කරන්නෙම්ද?”
— උත්පත්ති 39:9

ඒ පරීක්ෂාවේ මොහොතේදී, එයා එතන හිටගෙන තර්ක කරන්නවත්, නිදහසට කරුණු කියන්නවත්, පැහැදිලි කරන්නවත් ගියේ නැහැ. ඕනෑම නුවණැති මනුස්සයෙක් කරන හොඳම දේ එයා කළා — එයා එතනින් දුවලා ගියා!

අන්න එතනදී… ස්වාමීන්වහන්සේ ඒ දේ සටහන් කරගත්තා කියලා මම විශ්වාස කරනවා.

දැන්, පිටතින් බලද්දී පෙනුණේ හැමදේම තවත් නරක අතට හැරුණා වගෙයි. හරි දේ කරපු නිසා යෝසෙප්ව හිරගෙදරට දැම්මා. සමහර වෙලාවට ස්වාමීන්වහන්සේ පස්සේ යන එක හැමවෙලේම පහසු දෙයක් නෙවෙයි. ඒත් ඒ මොහොත තමයි එයාගේ ජීවිත කතාවේ හැරවුම් ලක්ෂ්‍යය (Turning point) වුණේ!

ඒ හිරගෙදර ඇතුළේදී, ස්වාමීන්වහන්සේ යෝසෙප්ගේ ජීවිතයේ අලුත් දෙයක් කළා. යෝසෙප්ට සිහින පෙනුණා විතරක් නෙවෙයි, දැන් එයාට ඒ සිහිනවල තේරුම පහදන්නත් පුළුවන් වුණා!

මුලින්ම කුසලාන දරන්නාට. ඊළඟට පූප සාදන්නාට. අන්තිමේදී, ඵාරාවෝ රජතුමාටම!

යෝසෙප් ඵාරාවෝ ඉදිරියේ හිටගත්තාම, ඊජිප්තුවේ බලවත්ම පාලකයා එයා ඇතුළේ තිබුණු ස්වර්ගීය දෙයක් හඳුනාගත්තා. උත්පත්ති 41 හි ඵාරාවෝ මෙහෙම කිව්වා: “දෙවියන්වහන්සේගේ ආත්මය ඇති මේ වැනි මනුෂ්‍යයෙකු අපට සොයාගන්ට පුළුවන්ද?” ඊටපස්සේ එයා ප්‍රකාශ කළා: “නුඹ මෙන් නුවණැති ප්‍රඥාවන්ත වෙන කිසිවෙක් නැත.”, ශුද්ධකමෙන් සිද්ධ වෙන්නේ අන්න ඒකයි! ඒක ඔයාව තියුණු කරවනවා! ඒක ඔයාගේ ජීවිතයේ තියෙන දේව දීමනාවන් මුදාහරිනවා, ඒ වගේම උසස්වීම (Promotion) උදෙසා ඔයාව වෙන් කර තබනවා!

ඔයා දන්නවාද? “ශුද්ධකම” (Holiness) කියන වචනයේ සැබෑ තේරුමත් “වෙන් කර තබනු ලැබීම” (To be set apart) කියන එකයි!


පරීක්ෂාව ජයගන්නා සැබෑ බලය

දැන් එක දෙයක් හොඳට බලන්න. යෝසෙප් කිව්වේ නැහැ “මම කොහොමද මගේ ස්වාමියා වන පොතිෆර්ට විරුද්ධව මේ වැරැද්ද කරන්නේ” කියලා. එයා කිව්වේ “දෙවියන්වහන්සේට විරුද්ධව පව් කරන්නේ කොහොමද” කියලයි!

වෙන කිසිම කෙනෙක් බලාගෙන හිටියේ නැති වුණත්, ස්වාමීන්වහන්සේ තමන් සමඟ සිටිනවා කියන ගැඹුරු සිහිය යෝසෙප්ට තිබුණා. එයා ඒ සන්නිධානය ගොඩක් අගය කළා.

ඉතින්, අපි පරීක්ෂාවකට “බැහැ” කියන්නේ කොහොමද?

පරීක්ෂාවකට “බැහැ” කියන්න තියෙන බලය එන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ අපිට ලැබිලා තියෙන ධර්මිෂ්ඨ අනන්‍යතාවය (Righteous identity) ගැනත්, උන්වහන්සේ අපි සමඟ සිටිනවා කියන එක ගැනත් අපේ හදවතේ තියෙන ගැඹුරු අවබෝධයෙනුයි!

1 කොරින්ති 15:34 හි අපිට මෙහෙම කියනවා:

“ධර්මිෂ්ඨකමට අවදි වන්න, පව් නොකරන්න.”
— 1 කොරින්ති 15:34

අපේ ජේසුස් ස්වාමීන්වහන්සේ තුළින් අපිව කොච්චර පරිපූර්ණ ලෙස ධර්මිෂ්ඨ කරලා තියෙනවාද කියන එක ගැන අපි වැඩි වැඩියෙන් සිහියෙන් ඉන්න තරමට, පාපයට “බැහැ” කියන්න තියෙන බලය අපිට වැඩි වැඩියෙන් ලැබෙනවා!

එතකොට ඔයා ඔයාගේම ආත්ම ශක්තියෙන් (Willpower) පාපයට විරුද්ධ වෙන්න දඟලන්නේ නැහැ. ඒ වෙනුවට, ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔයා කවුද කියන එළිදරව්ව තුළින් ඔයා ප්‍රතිචාර දක්වන්න පටන් ගනියි:
“ඒ මම දැන් ඉන්න කෙනා නෙවෙයි! මම ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමයි!”

යෝසෙප් වගේම, ඔයාගේම ශක්තිය නොවන අමුතුම බලයක් ඔයා සොයාගනියි. පරීක්ෂාවන්ට විරුද්ධ වෙන්නත්, වැරදි දේවල්වලට එකඟ නොවී “බැහැ” කියන්නත් ඔයාගේ ඇතුළතින් නැඟී එන ශුද්ධ වූ බලයක් ඔයා අත්විඳියි.

ඔයාටත් නොදැනුවත්වම, ඔයා වඩාත් විශාල ප්‍රඥාවකින්… වඩාත් තියුණු අවබෝධයකින්… සහ ඔව්, දේවික උසස්වීමක් (Divine promotion) ඇතුළේ ගමන් කරන්න පටන් ගනියි!


මෙම ලිපිය පූජ්‍ය ජෝසෆ් ප්‍රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.