ඔයාටත් කවදා හරි කරගන්න දෙයක් නැතුව, අසරණ වෙලා ඉන්න හැඟීමක් ඇවිත් තියෙනවද?
ඒක සමහර විට පොඩි දෙයක් වෙන්න පුළුවන්. අමාරු ඊමේල් එකකට උත්තරයක් දෙන හැටි, ළමයින්ව හදන හැටි, එහෙමත් නැත්නම් තරුණ වයසේ ඉන්න දරුවෙක් එක්ක කතා බහ කරන හැටි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙලාව නිසි විදියට කළමනාකරණය කරගන්න එක, නැත්නම් රක්ෂාවේ වැඩ ටික වඩාත් සාර්ථකව කරගන්න එක වෙන්නත් පුළුවන්.
එහෙමත් නැත්නම් ඊට වඩා ලොකු දෙයක් වෙන්න පුළුවන්. ජීවිතයේ ගන්න තියෙන ලොකු තීරණයක්, මුදල් පැත්තෙන් ආපු පාඩුවක්, පවුලේ පැටලිලි සහගත ප්රශ්නයක්… නැත්නම් වැඩපොළේ වුණු ලොකු අවුලක් විසඳගන්න එක වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයාටත් හිතෙනවා නේද, “අනේ දෙවියනේ, මට නම් මෙතැනදී කරන්න ඕනේ දේ තේරෙන්නේ නැහැ” කියලා.
ඔයාට මේ දේ මීට කලින් තේරිලා තියෙනවද? මිනිස්සුන්ගෙන් ලැබෙන උපදෙස් හොඳයි තමයි, ඒත් ඒවයින් යන්න පුළුවන් යම් සීමාවකට විතරයි. ඉන්ටර්නෙට් එකේ උත්තර හෙව්වා, වටපිටාවේ ඉන්න අයගෙන් ඇහුවා, නැත්නම් විවිධ ප්රඥාවන්තයන්ට ඇහුම්කන් දුන්නා කියලා ඔයාට විවිධ අදහස් ලැබෙයි, ඒත් ඇත්තටම ඕන කරන පැහැදිලි බව ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්.
බලන්න, අපිට තොරතුරු සහ දැනුම ගොඩක් තියෙන්න පුළුවන්, ඒත් ඒවයින් වැඩක් ගන්නේ කොහොමද කියන දේ තේරෙන්නේ නැතුව ඇති. අත්දැකීම්? ඔව්, ඒවත් වටිනවා. ඒත් සමහර වෙලාවට අපේ පරණ අත්දැකීම් නිසාම අපි හිරවෙනවා. ඒවා අපේ පරණ හිතන පතන රටාවන් වලම අපේව හිර කරලා තබාගන්නවා, නැත්නම් දෙවියන් වහන්සේ අපිට පෙන්වන්න හදන අලුත් විසඳුම් අපිට පෙනෙන්නේ නැතුව යනවා.
අපිට ඇත්තටම ඕන කරන්නේ ස්වර්ගීය ප්රඥාවයි. මොකද ලෞකික ප්රඥාවෙන් ලැබෙන්නේ සාමාන්ය ප්රතිඵල විතරයි, ඒත් පුදුම ස්වර්ගීය ප්රඥාවෙන් පුදුම ප්රතිඵල ලැබෙනවා.
මේ වගේ ප්රඥාවක් ලැබෙන්න පුළුවන් දෙවියන් වහන්සේගෙන් විතරයි. යාකොබ් 1:5 අපිට කියන්නේ, උන්වහන්සේ කිසිම දොස් නැඟීමක් නැතුව, ඕනෑවටත් වඩා ඕනෑම කෙනෙකුට ප්රඥාව දෙනවා කියලා. ඒ කියන්නේ ඔයා ඉල්ලන එක ගැන උන්වහන්සේ කවදාවත් බණින්නේ නැහැ. ඔයා උන්වහන්සේ ළඟට ඇවිත් ප්රඥාව ඉල්ලනවාට උන්වහන්සේ හරිම කැමතියි!
බයිබලයේ තියෙන විදියට ප්රඥාව කියන්නේ හැමෝටම එක වගේ ලැබෙන එක දෙයක් නෙමෙයි. මුල් හෙබ්රෙව් සහ ග්රීක් භාෂාවල ප්රඥාවේ විවිධ “පැති” තියෙනවා:
චොක්මා (Chokmah): කරුණු කාරණා ගැන තියෙන පුළුල් අවබෝධය සහ ජීවිතය බුද්ධිමත්ව ජීවත් කරන්න තියෙන හැකියාව.
බීනා (Binah): මතුපිටින් පෙනෙන දේට එහා ගිහින් ප්රශ්නයේ මුල පෙනෙන තියුණු නුවණ සහ පැහැදිලි බව.
සකාල් (Sakai): සාර්ථකත්වය ගෙනදෙන, බුද්ධිමත්ව වැඩ කරන්න උදව් වෙන ප්රායෝගික ප්රඥාව.
සුනෙසිස් (Suniesis): කරුණු එකතු කරලා බලලා, ශුද්ධාත්මයෙන් මෙහෙයවන නිර්මාණශීලී විසඳුම් සොයාගැනීමේ හැකියාව.
දෙවියන් වහන්සේගේ වචනයෙන් හොයාගන්න පුළුවන් ප්රඥාවේ විවිධ පැතිවලින් කිහිපයක් විතරයි මේ. මේ සෑම එකක්ම තෑග්ගක්, ඒ වගේම මේ හැම දෙයක්ම ගලන්නේ එක්කෙනෙක්ගෙන්: ඒ ප්රඥාවේ සහ දැනුමේ සියලු නිධානයන් සැඟවී තියෙන අපගේ යේසුස් වහන්සේගෙන්මයි (කොලොස්සි 2:3).
මම කැමතියි උන්වහන්සේගේ ප්රඥාව Spiritual Swiss Army knife එකක් වගේ කියලා හිතන්න. ඔයා අද මොන ප්රශ්නයට මුහුණ දුන්නත්, ඒකට හරියන විශේෂ මෙවලම උන්වහන්සේ ළඟ තියෙනවා. ළමයින්ව හදන්න ප්රඥාව තියෙනවා. රක්ෂාවට ප්රඥාව තියෙනවා. සබඳතා පවත්වාගන්න ප්රඥාව තියෙනවා. එදිනෙදා ප්රායෝගික වැඩවලට පවා ප්රඥාව තියෙනවා.
ඒ නිසයි මගේ දිනපතා යාච්ඤාවලින් එකක් වෙන්නේ, “ස්වාමිනි, මට ප්රඥාව සහ කරුණාව (favor) දෙන්න” කියන එක.
ජෝසෆ්ට ප්රඥාව සහ කරුණාව දෙකම තිබුණු බවත්, ඒ නිසා ඉතා අමාරු අවස්ථාවල පවා ඔහු දියුණු වුණු බවත් උසස් වුණු බවත් බයිබලය අපිට කියනවා.
ඉතින් අද, ඔයා එකම ප්රශ්නය වටේ කැරකෙමින් තාමත් කරගන්න දෙයක් නැතුව ඉන්නවා නම්, මොහොතකට නතර වෙන්න. උත්තර සහ උපදෙස් හොයාගෙන වටපිට බලන්න විතරක් එපා — ඉහළ බලන්න.
දෙවියන් වහන්සේගෙන් උන්වහන්සේගේ ප්රඥාව ඉල්ලන්න, ඒ වගේම කෙළින්ම ඕන දේම ඉල්ලන්න බය වෙන්න එපා. මේ කාලයේ ඔයාට අඩුයි කියලා හිතෙන ප්රඥාවේ ඒ විශේෂ පැත්තම ඉල්ලන්න පුළුවන්. ඒක තියුණු නුවණ, අවබෝධය, ප්රායෝගික තීරණ ගැනීමේ හැකියාව, නැත්නම් නිර්මාණශීලී විසඳුම් වෙන්න පුළුවන්.
උදාහරණයක් විදියට, ඔයා ප්රශ්නයකට මුහුණ දීලා, ඇත්තටම මොකද වෙන්නේ කියලා තේරුම් ගන්න අමාරුයි නම්, ප්රශ්නයේ මුල තේරුම් ගන්න උන්වහන්සේගේ ‘බීනා’ (Binah – තියුණු නුවණ) ඉල්ලන්න.
ඉදිරියට යන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැත්නම්, නැත්නම් වෙලාව කළමනාකරණය කරන්නේ කොහොමද, ඊළඟට ගන්න ඕන පියවර මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නවා නම්, ඔයා දන්න දේ ප්රායෝගිකව යොදවන්න සහ නිවැරදි, සාර්ථක තීරණ ගන්න උන්වහන්සේගේ ‘සකාල්’ (Sakai – ප්රායෝගික ප්රඥාව) ඉල්ලන්න.
එහෙමත් නැත්නම්, කිසිම විසඳුමක් පෙනෙන තෙක් මානයක නැති ලොකු පැටලිලි සහිත ප්රශ්නයකට මුහුණ දීලා ඉන්නවා නම්, උන්වහන්සේගේ ‘සුනෙසිස්’ (Suniesis) ඉල්ලන්න. ඒක අඳුර අස්සෙන් පැහැදිලි බවක් අරන් ඇවිත්, ඔයාට තනිවම හිතාගන්න බැරි නිර්මාණශීලී මඟක් පෙන්වන පුදුම හැකියාවයි.
ඔයා, උන්වහන්සේගේ දරුවෙක් විදියට උන්වහන්සේ ළඟට ඇවිත් ඉල්ලනවාට වඩා දෙවියන් වහන්සේගේ සිත සතුටු කරන වෙන කිසිම දෙයක් නැහැ!



