දෙවියන් වහන්සේ දකින විශ්වාසවන්තකම

මේ තරගකාරී ලෝකයේ හැමෝම බලන්නේ ප්‍රතිඵල විතරයි. ඒකත් නිකම් ප්‍රතිඵල නෙවෙයි, එකපාරටම ලැබෙන ප්‍රතිඵල.

අපි මනින්නේ ,ලොකුවට දකින්නේ දිනුම් කණු,ප්‍රමාණවල් විතරයි . හැම තත්පරෙන්ම උපරිම ප්‍රයෝජන ගන්නයි හදන්නේ. හිතාගන්නත් බැරි විදිහට ඉක්මනින් සාර්ථක වෙන හැටි ගැන අපි කතා වෙනවා: ‘රෑයින් රැයින් ලැබූ සාර්ථකත්වයන්! ක්ෂණික ප්‍රතිඵල!’

ඒත් දෙවියන් වහන්සේ ඇත්තටම අගය කරන්නේ මොකක්ද කියලා දන්නවද?

ඒ තමයි අපේ විශ්වාසවන්තකම.

1 සාමුවෙල් 17 වෙනි පරිච්ඡේදයේ දාවිත් ගැන තියෙන ලස්සන කතාවක් බලන්නකෝ. එයාට ලැබුණු කැඳවීම කොච්චර යටහත් පහත්ව, විශ්වාසවන්තව ඉටු කළාද කියලා එකෙන් තේරෙනවා. ඒ වෙනකොට සාමුවෙල් අනාගතවක්තෘවරයා දාවිත්ව රජකමට අභිෂේක කරලයි තිබුණේ.

ඒත් ඊටපස්සේ එයා මොකද කළේ?

එයා රජ කිරුළ ඉල්ලලා කලබල කළේ නැහැ. තීරණ තමන්ගේ අතට ගත්තේ නැහැ. එයා ආයෙත් නිකම්ම බැටළුවන් බලන්න ගියා. පොඩ්ඩක් හිතලා බලන්න! ඉශ්‍රායලයේ ඊළඟ රජ්ජුරුවෝ, අන්තිමේදී නිකම්ම බැටළුවෝ බලාගන්න යනවා!

ඊටපස්සේ දවසක්, දාවිත්ගේ තාත්තා යෙස්සේ එයාට කියනවා යුද පිටියේ ඉන්න අයියලාට කෑම ටිකක් අරන් යන්න කියලා. එයාව එහෙ යැව්වේ යුද්ධ කරන්න නෙවෙයි, නිකම්ම කෑම ගෙනියන කෙනෙක් විදිහට. ඒත් දාවිත් ඒකටත් කීකරු වුණා.

‘ඇයි මටම මෙහෙම කරන්නේ?’ නැත්නම් ‘මම කවුද කියලා දන්නේ නැද්ද?’ කියලා එයා ඇහුවේ නැහැ. එයා තාත්තාගේ වචනයට ගරු කළා.

අපි මෙතැන තියෙන තවත් පොඩි විස්තරයක් බලමු.

බයිබලයේ කියනවා, ‘දාවිත් උදේ පාන්දරම නැගිටලා, බැටළුවන්ව වෙන කෙනෙකුට භාරදීලා, තාත්තා කියපු විදිහටම බඩු ටිකත් අරන් පිටත් වුණා’ කියලා (1 සාමුවෙල් 17:20).

රජකමට අභිෂේක වුණාට පස්සෙත් තාත්තා කියපු දේ අහපු එක අගය කරන්න ඕනේ. ඒත් ඊටත් වඩා එයාගේ ක්‍රියාවෙන් පෙනෙන හදවත දිහා බලන්න. එයා බැටළුවන්ව නිකම්ම දාලා යුද පිටියට දිව්වේ නැහැ. බැටළුවන්ව බලාගන්න වෙන කෙනෙක්ව යොදවන්න තරම් එයා සැලකිලිමත් වුණා.

ඒක පොඩි දෙයක් වගේ පෙනුණට, දෙවියන් වහන්සේ ඒක බයිබලයේ සටහන් කළේ අපිට වටිනා පාඩමක් කියලා දෙන්නයි.

තාත්තා භාරදුන්න පොඩි වැඩේ වුණත් දාවිත් කොච්චර වගකීමෙන් කළාද කියලා මේකෙන් පෙනෙනවා. බැටළුවන්ට කරදරයක් නැහැ කියලා එයා තහවුරු කරගත්තා. කවුරුත් බලන් නැති වෙලාවෙත් එයා කැපවීමෙන්, විශ්වාසවන්තව වැඩ කළා.

අන්න ඒ සරල, විශ්වාසවන්ත කීකරුකම නිසාම එදා එයාට එයාගේ ජීවිතයේ ලොකුම අවස්ථාව හමු වුණා. එයා බලෙන්ම දේවල් කරන්න ගිය නිසා දොරවල් ඇරුණේ නැහැ. එයා නිතරම කරන සාමාන්‍ය දේවල් විශ්වාසවන්තව කරගෙන යද්දී තමයි ඒ දොරවල් ඇරුණේ.

සමහරවිට අද ඔයත් රක්ෂාවේ, ළමයි බලන එකේ, නැත්නම් වෙන මොනවා හරි වැඩක දිනපතා නියැලෙමින් ‘මේවායින් ඇති වැඩක් තියෙනවද?’ කියලා හිතනවා ඇති.

මම ඔයාට කියන්නම්, ඒක ඇත්තටම වටිනවා.

දෙවියන් වහන්සේ ඒ හැම දෙයක්ම දකිනවා.

ඔයාගේ විශ්වාසවන්තකම උන්වහන්සේ දකිනවා. බයිබලයේ කියනවා: ‘විශ්වාසවන්ත මනුෂ්‍යයාට ගොඩක් ආශීර්වාද ලැබෙනවා’ කියලා (හිතෝපදේශ 28:20).

ඒ කියන්නේ, කාටවත් නොපෙනෙන, පොඩි දෙයකදී පවා ඔයා විශ්වාසවන්තව ඉද්දී, දෙවියන් වහන්සේට විතරක් දෙන්න පුළුවන් ආශීර්වාද, දියුණුව සහ හොඳ අවස්ථාවලට ඔයා ලෑස්ති වෙනවා කියන එකයි.

විශ්වාසවන්තකම කියන්නේ ලොකු ලොකු දේවල් කරන එක නෙවෙයි. ඔයාට කරන්න තියෙන දේ ‘ දේව තාත්තේ , මම මේක කරන්නේ ඔබවහන්සේ වෙනුවෙන්මයි’ කියන හදවතින් කරන එකයි.

ඒක ඔයාගේ කාලය හරියට පාවිච්චි කරන එක, වෙලාවට වැඩ කරන එක, ලැබිලා තියෙන කාලයෙන් උපරිම වැඩ ගන්න එක, ළමයි එක්ක ඉන්න එක, දවසේ තියෙන සුළු ඒත් වැදගත් වැඩ අතනොහරින එක, නැත්නම් කවුරුත් අගය කළේ නැතත් හොඳ හිතින් සේවය කරන එක වෙන්න පුළුවන්.

වපුරන කාලයක් සහ අස්වැන්න නෙළන කාලයක් තියෙනවා. කාටවත් නොපෙනෙන මොහොතවල්වල ඔයා විශ්වාසවන්තව වපුරන දේ දෙවියන් වහන්සේ දකිනවා, උන්වහන්සේ ඒකට හරියන ප්‍රතිඵල දෙන්න විශ්වාසවන්තයි. ගීතාවලිය 126 අපිට මතක් කරන්නේ, කඳුළු සලමින් වපුරන කෙනා සතුටින් අස්වැන්න නෙළාගෙන ආපසු එනවා කියලයි.

ඔයා ආශීර්වාද පස්සේ දුවන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේට විශ්වාසවන්තව ඉන්න, එතකොට ආශීර්වාද ඔයා පස්සේ ඒවි.

දේවල් හෙමින් වෙනවා වගේ දැනුණත්, කාටවත් ඔයාව පෙනෙන්නේ නැහැ වගේ දැනුණත් බයවෙන්න එපා. ඔයා පස්සට ගිහින් නැහැ. ඔයා ඉන්නේ දෙවියන් වහන්සේගේ නිවැරදිම වෙලාවෙයි. ලෝකය ප්‍රතිඵල පස්සේ කලබලෙන් දිවුවට, ඔයා එහෙම දුවන්න ඕනේ නැහැ.

දෙවියන් වහන්සේව විශ්වාස කරලා දිගටම වපුරන්න. උන්වහන්සේ ඔයාගේ අතට දීලා තියෙන දේවල් විශ්වාසවන්තව කරන්න. අපේ දෙවියන් වහන්සේ ගොඩක් යහපත්, උන්වහන්සේ පොරොන්දු වුණු හැම දෙයක්ම ඉෂ්ට කරයි.